ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-09-2018 | 6:23 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්....

1. හිටපු ජනපතිගේ ඉන්දීය සංචාරයේ පසුබිම කුමක් ද? : ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එරට කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමු විය. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊයේ උදෑසන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමු වූයේ, නවදිල්ලි නුවරදී ය. 2. මෙරට ඉන්දීය මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක : මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ඊයේ ත්‍රිකුණාමලයේ සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් ඇමතුවේ ය. 3. සබරගමුව සරසවියේ පිපිරීමක් : සබරගමුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක් තුළ ඊයේ පස්වරුවේ පිපිරීමක් සිදුව තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය. 4. කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ලයක් : කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුව කොල්ල කා රුපියල් 790,000කට අධික මුදල් පැහැර ගෙන ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොර සහ ජනේලයක් කඩා දමා ඇති අතර CCTV කැමරා පද්ධතිය ගලවා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය. 5. මෙන්ඩිස් සමාගම ගැන තවත් හෙළිදරව්වක් : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 6. කුඩු ජාවාරම්කරුවෙකු බව කී මොහොමඩ් සිද්ධික් නිදහස් : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් නමැත්තා ඇතුළු 5 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ ය. 7. රක්වානේ වෙඩි තැබීමක් : රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

විදෙස් පුවත්....

1. පිළිකා රෝගීන් පිළිබඳව නවතම අනාවරණයක් : මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ. පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

ක්‍රීඩා පුවත්.....

1. ක්‍රිකට් මූල්‍ය අංශයේ තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් : එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.