හිටපු ජනපතිගේ ඉන්දියානු සංචාරයේ පසුබිම කුමක් ද?

නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය හා හිටපු ජනපති ඉන්දියාවට සමීප වීම අතර සබඳතාවක් තිබේ ද?

by Staff writer 13-09-2018 | 7:28 PM
COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමු විය. මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදෑසන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමු වූයේ, නවදිල්ලි නුවරදී ය. හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ද මෙම හමුවට සහභාගී විය. ඉන්දීය සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ මහතා වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා කළේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුත් නාමල් රාජපක්ෂ මහතා ද සමග ඉන්දියාවේ සිදු කරන මේ සංචාරයේ පසුබිම කුමක් විය හැකි ද? රටේ ජනාධිපති ධූරය දැරූ සමයේ මහින්ද රාජපක්ෂ මහතා චීනය සමග සමීපව කටයුතු කළ බව නොරහසකි. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ඔහු ක්‍රියාත්මක කළේ චීනය සමග ය. නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව සමග මිත්‍රත්වයක් පෙන්නුම් කරන අතර පසුගියදා මෙරටට පැමිණි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතාගේ ඇරයුමක් මත එරට සංචාරයක නිරත වෙමින් සිටියි. පසුගිය ජුනි මාසයේ 25 වන දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සබඳතා පිළිබඳව කළ අනාවරණය ඔබට මතක ද? එම පුවත්පත අනාවරණය කළේ, 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් නමැති චීන සමාගම ලබා දී ඇති බව ය. මාරියා අබි හබීබ් නමැති මාධ්‍යවේදීණියක මෙම තොරතුරු ඇතුළත් ලිපිය පුවත්පතට වාර්තා කර තිබිණි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව ඇය ඉන්දියාවේ සිට සේවය කරන පුවත්පතේ දකුණු ආසියානු කලාපීය වාර්තාකාරිණියයි. ඉන්දියාවේ සිටින නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාකාරිණිය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අනාවරණය කළේ ඉන්දියාවේ අවශ්‍යතාව මත ද? මේ අනාවරණය නිසා මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාව සමග මිත්‍රත්වයක් යළි ගොඩනගා ගැනීමට සිදු වූවා ද? මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ උගුලකට හසු වුණා ද?