මෙන්ඩිස් සමාගම පිළිබඳව අධිකරණයේදී තවත් හෙළිදරව්වක්

මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් 3 වන පාර්ශවවලට මුදල් ගෙවූ වචුවර් පත් 102ක් විනාශ කර ඇති බව හෙළිවෙයි

by Staff writer 13-09-2018 | 4:37 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගම විසින් මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක්‍රීයව පැවති වකවානුවේදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට ලබා දුන් මුදල් එම සමාගම විසින් සැක සහිත ලෙස තෙවන පාර්ශවයකට ලබා දීමට අදාළ වචුවර් පත් 102ක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ උපදෙස් මත විනාශ කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයේදී කියා සිටියේ ය. යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් දෙවන පාර්ශවයකට සැක සහිත ලෙස ලබා දී ඇති මුදල් චෙක්පත් බහුතරයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇති බව ය. එම සමාගම ඒවා කුමන පාර්ශවයකට ලබා දුන්නේ දැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරරම්භ කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී කියා සිටියේ ය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ පරිගණක දත්ත පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී එම සමාගමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධා කර ඇති බව ය.