ගල්ලෑල්ලෙන් පැන්න කොරෝනා රැඳවියන් කෝ...?

ගල්ලෑල්ලෙන් පැන්න රැඳවියන් 3ක් තවමත් නිදැල්ලේ

by Staff writer 08-01-2021 | 1:10 PM

COLOMBO (News 1st) : පසුගිය 31 වනදා පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් 5 දෙනා අතරින් තිදෙනෙක් තවදුරටත් අතුරුදන්ව සිටිති.

රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ද පැතූ අතර කෙසේ වෙතත් මේ වන තෙක් අත්ඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ, පැන ගිය රැඳවියන් අතරින් දෙදෙනකු පමණි. පැන ගිය ආසාදිත රැඳවියන් අතරින් තවදුරටත් අතුරුදන්ව සිටින්නේ පහත නම් සඳහන් රැඳවියන් තිදෙනායි. 1. දඹල්ලගේ බුද්ධික විමලරත්න – අවුරුදු 31යි 3. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි – අවුරුදු 26 5. පී.කේ. සුමිත් පුෂ්පකුමාර – අවුරුදු 36යි පළා ගිය රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වේ නම්, පහත සඳහන් දුරකතන අංකවලට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මීට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. මූලස්ථාන පොලිස් පරීක්ෂක පොළොන්නරුව – 071 8591233 හදිසි ඇමතුම් අංශය – 119 මේ අතර පැන ගිය ආසාදිත රැඳවියන් අතර සිටි 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් ‘ගැටයා’ නමැති රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී පෙරේදා (6) අත්අඩංගුවට ගැනිණ. සැකකරු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුට විරුද්ධව නිරෝධායන නීතින් සහ බන්ධනාගාර ආඥා පනත යටතේ කටයුතු කරනු ඇති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රැඳවියාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි. මොහු ද ප්‍රථමයෙන් නිරෝධායනයට යොමු කර පසුව නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී මොහු අදාළ පැන ගිය සැකකරු හඳුනාගෙන ඇති බවට වාර්තා වන බවත් බන්ධනාගාරයේදී ඇති වූ මිතුදමක් මත මොහුට රැකවරණය ලබා දෙන්නට ඇති බවට ත් පොලීසිය සැක පළ කරයි. මේ අතර රැඳවියන් අතර සිටි 27 හැවිරිදි කොරෝනා ආසාදිත රැඳවියා මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ. අදාළ පළා ගිය රැඳවියන් ගල්ලෑල්ල සිට පොළොන්නරුව බස් නැවතුම්පොළට පැමිණ පසුව පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය බස් රථයකින් කුරුණෑගලට පැමිණ තිබිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන් අනතුරුව පිරිස කුරුණෑගල සිට වෙනත් බස් රථ ඔස්සේ හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට පලා යන්නට ඇති බවටයි. මෙලෙස පසුගිය 31 වන දා අලුයම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගොස් තිබුණේ, මීගමු බන්ධනාගරයේ සිට ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ රැඳවියන් 5 දෙනෙකි.

සබැඳි පුවත්....