ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 17-08-2018 | 6:19 AM

දේශීය පුවත්

1. පෞ. බස් සේවකයින් වර්ජනයේ: ප්‍රදේශ රැසක බස් ධාවනය අඩු වෙයි: පෞද්ගලික බස් සංගම් ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ ක්‍රියාත්මක විය. ඇතැම් ප්‍රදේශවල බස් රථ ගමන් වාර කිහිපයක් ආරම්භ වුව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ, බොහෝ දුර බැහැර ප්‍රදේශවලට බස් ධාවනය නොවන බවයි. 2. ගෑස් මිල සඳහාත් මිල සුත්‍රයක්: ගෑස් මිල සම්බන්ධයෙන් ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වන බවයි. 3. මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී: මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද දිනයේ සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, එම මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙනි. 4. ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්: ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට හෙට අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 5. වැරදි කාලසටහනක් පළ කළා යැයි, වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්: අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වැරදි කාල සටහනක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. 6. වසරක් තුළ කටාර්හි සේවය කළ 21ක් මරුට: ගෙවුණු වසරක කාලය තුළ කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වූ මෙරට ශ්‍ර‍මිකයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍ර‍මිකයින් 117,000 පමණක් මේ වන විට එරට විවිධ රැකියාවල නිරත වෙති.

විදෙස් පුවත්

7. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය වජ්පායි අභාවප්‍රාප්ත වෙයි: හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන වජ්පායි මහතා මිය යන විට 93 වන වියේ පසු විය.