වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

වැරදි කාලසටහනක් පළ කළා යැයි, වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

by Staff writer 16-08-2018 | 3:29 PM
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වැරදි කාල සටහනක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. මෙවර උසස් පෙළ විභාගයේ සිංහල පළමු ප්‍රශ්න පත්‍රය, පසුගිය සෙනසුරාදා පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වා පැවැත්විණ. නමුත් ඇතැම් විභාග අපේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති කාල සටහනක සිංහල පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන වේලාව දක්වා ඇත්තේ 11 වැනිදා දහවල් 12.30 සිට 3.40 දක්වා ලෙසයි. ඒ අනුව විභාගයට මුහුණදීමට ගිය සිසුන්ට සිංහල පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ අවස්ථාව අහිමි වී තිබේ. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක්වූ සිසුන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් විභාග කාල සටහනේ කිසිදු වරදක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය. නිවැරදි කාල සටහන් විභාග ප්‍රවේශ පත්‍රය සමග සිසුන්ට ලබාදෙන බැවින් ඒ අනුව විභාගයට පැමිණීමට සෑම විටම ක්‍රියා කරන්නේ නම් මෙවැනි අනවශ්‍ය ගැටලු ඇති නොවන බව ද, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, වැරදි කාල සටහනක්, විභාග දෙපාර්තමේන්තුව, විභාග කොමසාරිස් ජෙනරාල්