පෞ. බස් සේවකයින් වර්ජනයේ

පෞ. බස් සේවකයින් වර්ජනයේ: ප්‍රදේශ රැසක බස් ධාවනය අඩු වෙයි

by Staff writer 16-08-2018 | 6:44 AM

COLOMBO (News 1st) - ඊයේ රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඇතැම් ප්‍රදේශවල බස් රථ ගමන් වාර කිහිපයක් ආරම්භ වුව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ, බොහෝ දුර බැහැර ප්‍රදේශවලට බස් ධාවනය නොවන බවයි. මේ අතර අනුරාධපුර බස් නැවතුම්පොළෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක් ධාවනය වූ බව අප වාර්තාකරු පැවසුවේ ය. මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතරින් ගමන් ආරම්භ කරන බස් රථ ධාවනය කෙරෙන බව අප වාර්තාකරු පවසා ඇත. ඊට අමතවර උදෑසන කාලයේදී දුරගමන් සේවා බස් රථ කිහිපයක් හැරෙන්නට අනෙක් බස් රථ ධාවනය වන බව අප වාර්තාකරු පැවසුවේ ය. ඊයේ මධ්‍යම රාත්‍රි සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් පියවර ගෙන තිබේ. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිවයුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බවයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ වර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ද පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාගෙන් ද අප විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, තම සංගමය වර්ජනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිටින බවයි. මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මෙවැනි කරුණු අරඹයා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බවයි.