ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු හෙට

ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ...

by Sagarika Chathumali 12-08-2020 | 12:14 PM
COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරිමට සැලසුම් කර තිබේ. දේහය අද පෙරවරු 10 සිට මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිසානායක මහතා මියයන විට 62 වැනි වියේ පසු විය. ජාතික රූපවාහනිය,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළව ශාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ රැසක් රචනා කර තිබේ. ගංගානාත් දිසානායක මහතා පුවත් පත් රැසකටම තීරු ලිපි සපයමින් ජනමාධ්‍ය සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ විද්වතෙකි. ඔහු ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. ගංගානාත් දිසානායක මහතා පසුගිය කාලයේ පුවත්පතකට රචනා කළ පැණි වළලු තීරු ලිපිය පාඨකයින් රැසකගේ ජනාදරයට පත් විය.

මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි