මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි

by Sagarika Chathumali 11-08-2020 | 4:34 PM

COLOMBO ( News 1st ) : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී සහ ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමු ගත් දිසානායක මහතා මිය යනවිට 62 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහීනි සේවයේ සභාපතිවරයෙකු ලෙස ද දිසානායක මහතා සේවය කර තිබේ. 1958 ජූලි 1 වන දා කොළඹදී උපත ලද දිසානායක මහතා අධ්‍යාපනය හදාරා ඇත්තේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. පසුව සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වන දිසානායක මහතා එම විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. පසුව එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවයට බැඳෙන දිසානායක  කාලය දශක 3කට ආසන්න කාලයක් එහි මාහාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. 1987 වසරේදී පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ජපානයට පිටත්ව යන දිසානායක මහතා ජපන් භාෂාවෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබීම විශේෂත්වයකි. විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කාලා කටයුතු සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා හා පශ්චාද් උපාධි ඩිප්ලෝමාවේ සාමායෝජකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. දිසානායක මහතා පසු කාලීනව ජපානයේ ශ්‍රී ලංකා තානාපති බවට පත් වන්නේ, එරට අධ්‍යාපනය හදාරන සමයේ තිබූ සිය සිහිනය යාථාර්ථයක් බවට පත් කරගනිමිනි. 'පැණිවළලු'  පාඨකයින් අතර ඉමතහත් ජනප්‍රියත්වයට පත් ඔහු අතින් රචිත සුවිශේෂි නිර්මාණයකි. ශ්‍රාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මෙරට ජනසන්නිවේදන ක්ෂේත්‍රය වෙනුවෙන්  ඉටු කළ සේවය අතිමහත් ය. https://www.facebook.com/NewsfirstSL/videos/215539533217568/