ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 10-09-2018 | 6:15 AM

දේශීය පුවත්

1. මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව: කළුතෙල් මුහුදට මුසු වීමෙන් වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑම්: මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව හේතුවෙන් මුහුදට මුසු වූ කළුතෙල් පැතිරීමෙන් උස්වැටකෙයියාව සිට ජා-ඇළ පමුණුගම වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. නාවික හමුදාව පවසන්නේ, මුහුදට මුසු වී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ය. 2. ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවයි: දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3. පුත්තලම, අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට එරෙහිව ජනතාව වීදි බසියි: පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිකෙරෙන කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශවාසින් ඊයේ විරෝධතාවක නිරත විය. පොරොන්දු වූ පරිදි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු නොවන බව පවසමින් ප්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පළ කළහ. 4. ඝාතනයකින් කෙලවර වූ ඉඩම් ආරවුල: පුස්සැල්ලාව හෙල්බොඩගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය. 5. කළු ගඟට කරදිය මුසුවෙයි: කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට බවුසර් මගින් ජලය: වියළි කාලගුණයත් සමග යළි ත් වරක් කළු ගඟට කරදිය මුසුවී තිබේ. පවතින තත්ත්වය හමුවේ කළුතර, බේරුවල සහ අලුත්ගම ඇතුළු ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන තිබේ.

විදෙස් පුවත්

6. අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා: අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බස්රා නුවර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා අතරතුර තව ත් සිය ගණනක් තුවාල ලබා ඇති බව ය.

ක්‍රීඩා පුවත්

7. සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී: ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි.