ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් සටනට

ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකා A කණ්ඩායම, 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

by Staff writer 27-11-2026 | 8:23 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා A කණ්ඩායම, 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ(26) රාත්‍රියේ සුදුසුකම් ලබා ගත්හ.

ඒ, කටාර්හි දෝහා නුවරදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය A කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් ලබා ගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය A කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 317කි.

ඒ අනුව ලකුණු 318ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 41යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් දැවී සිටියදී.

සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේ ශතක රැස් කළේ ය.

තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා කටාර්හි දෝහා නුවරදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ සහ පාකිස්ථාන කණ්ඩායම් අතර අද පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගයේදී ප්‍රතිවාදීන් බවට පත් වනු ඇති.

තරගාවලියේ සියළු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ Sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.