රාජ්‍යමුදල් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ජනපති පහදයි

රාජ්‍ය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ජනපති නිලධාරින්ට පහදයි....

by Staff writer 26-11-2026 | 9:31 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සහ රාජ්‍ය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කර තිබේ.

ඒ , ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.

මුදල් වර්ෂය ආරම්භයේ සිටම අමාත්‍යාංශ හා ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම වසර අවසානයේ භාවිත නොකළ මුදල්, ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවත්,

එසේ නොවන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට නැවත යොමුවීම හේතුවෙන් ඊළඟ වසරේ අයවැයෙන් නැවත ප්‍රතිපාදන ලබා ගැනීමට සිදුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන්  දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා පොත පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා..

මේ අතර ආයෝජකයෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18 ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බැවින්, රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදු වන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම  එහිදි සාකච්ඡා කර තිබේ.