අදත් ප්‍රදේශ රැසකට 100mm ඉක්මවූ වැසි...

අදත් ප්‍රදේශ රැසකට 100mm ඉක්මවූ වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 26-11-2026 | 6:41 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (26) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වර්ෂාව හමුවේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ.

ඉන් තත්ත්පරයට ඝන අඩි 440ක ජල ධාරිතාවක් මුදා හරින්නේ මී ඔයටයි.

මී ඔය දෙපස පදිංචි ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දැදුරුඔය ජලාශයේ  විවෘත කර ඇති වාන් දොරටු ගණන 8 කි.

ඉන් තත්පරයට ඝන අඩි 11,200ක ජල ධාරිතාවක් දැදුරුඔය වෙත මුදා හැරේ.

ජලාශයෙන් පහළ දැදුරුඔය පහත්බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.  

මහනුවර, කෑගල්ල, කළුතර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.