.webp)
-628629.jpg)
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති අතර, සිය රාජකීය ප්රඥප්තියට (Royal Charter) අනුව සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්රයට සිදු කරන ලද සුවිශේෂී සහ බලපෑම්සහගත දායකත්වයන් ඇගයීම සඳහා මෙම ගෞරව නාමය පිරිනමන බව සඳහන් කරයි (https://news1st.lk/4iZRMXz).
සමුද්‍ර ජීව විද්‍යාඥවරියක, සාගර අධ්‍යාපනඥවරියක සහ ලේඛිකාවක වන ආචාර්ය ආශා ඩි වොස්, උතුරු ඉන්දියන් සාගර කලාපය තුළ දීර්ඝකාලීන නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණවල පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය (deep-sea explorer and aquanaut) ද වේ. සමුද්‍ර සංරක්ෂණ ක්ෂේත්රයේ විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් ද ඇය ප්රබලව පෙනී සිටී.
MBA අධිසාමාජිකාවක ලෙස ඇය, විශේෂයෙන්ම උතුරු ඉන්දියන් සාගරයේ සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණවල දශක ගණනාවක අත්දැකීම් සහ ගැඹුරු මුහුදු පර්යේෂණ පිළිබඳ දැනුම සංගමය වෙත එක් කරනු ඇත. මීට අමතරව, වේදිකා දේශන, ග්රන්ථ, වාර්තා චිත්‍රපට සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්නා විද්‍යා සන්නිවේදිකාවක ලෙස ද ඇය ප්රකටය.
වර්තමානයේ බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ (University of Western Australia) සාගර ආයතනයේ අනුබද්ධ පර්යේෂණ අධිසාමාජිකාවක (Adjunct Research Fellow) ලෙස කටයුතු කරන ඇය, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ 8 දෙනෙකුගෙන් යුත් බාහිර විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ (Scientific Advisory Board) සාමාජිකාවක ද වේ.
ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලය (University of St. Andrews), ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (University of Oxford) සහ බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇති ආචාර්ය ඩි වොස්, ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන ආයතනය වන 'ඕෂන්ස්වෙල්' (Oceanswell) ලාභ නොලබන සංවිධානය පිහිටුවීම සඳහා සාම්ප්‍රදායික ශාස්ත්‍රීය ක්ෂේත්රයෙන් ඉවත් වූවාය.
BBC, ද නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times), TED සහ නැෂනල් ජියෝග්රැෆික් (National Geographic) ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක ඇගේ කාර්යයන් ඇගයීමට ලක්ව ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ආලේඛ්‍ය චිත්‍රය ප්‍රදර්ශනය කෙරුණු පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීමේ ගෞරවය ද ඇයට හිමිව තිබේ.
2018: BBC 100 Women ලැයිස්තුවට ඇතුළත් වීම සහ LMD සඟරාවේ 'වසරේ ශ්‍රී ලාංකිකයා' ලෙස නම් කෙරීම.
2020: ක්ෂේත්‍ර ජීව විද්‍යාව සඳහා වන මංගල Maxwell-Hanrahan සම්මානය සහ Scuba Diving සඟරාවේ 'වසරේ සාගර වීරවරිය' (Sea Hero of the Year) සම්මානය.
2021: වනිතාභිමානී යාවජීව සම්මානය (Vanithaabimani Lifetime Achievement Award) සහ Tällberg-SNF-Eliasson ගෝලීය නායකත්ව ත්‍යාගය.
2023: බ්‍රිතාන්‍ය පාරිසරික සංගමයේ (British Ecological Society) සමානාත්මතා සහ විවිධත්ව ශූරිය ලෙසත්, ඇමරිකාවේ කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ Osher අධිසාමාජිකාවක ලෙසත් නම් කෙරීම.
2026: Forrest Research Foundation හි 'Thinker-in-Residence' ලෙස නම් කෙරීම.
සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන සාගරය සම්බන්ධ ග්රන්ථ තුනක කතුවරිය වන ආචාර්ය ආශා ඩි වොස්, සමුද්‍ර විද්‍යාව සඳහා අවකාශයක් නොමැති බවට සිතූ රටක නව පරපුරේ ශ්‍රී ලාංකික සමුද්‍ර විද්‍යාඥයින් පුහුණු කරමින් ඔවුන්ට ජාත්‍යන්තර අවස්ථා විවර කර දීමට කැපවී සිටී.
