පුද්ගල ඝාතනයකට EPDP සාමාජිකයින් 8කට මරණ දඬුවම

චෙන්කලඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් EPDP සාමාජිකයින් 8කට මරණ දඬුවම

by Staff writer 19-11-2026 | 5:09 PM

COLOMBO (News 1st) – යුද සමයේ මඩකලපුව, චෙංකලඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වරදකරු වූ EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මඩකලපුව මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

තීන්දුව ප්‍රකාශ කළේ , මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්‍රභාකරන් විසින් ය.

2008 වසරේදී EPDP සාමාජිකයින් විසින් එරාවුර් පොලිස් ස්ථානයේ දේවදාස් සුරේෂ් කුමාර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර, 9 වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරුවරයා නියෝග කළේ ය.

2008 ජුනි 19 වැනිදා එරාවුර් පොලිසිය EPDP සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේ, එවකට EPDP කඳවුරේ සාමාජිකයින් විසින් දේවදාස් සුරේෂ් කුමාර් පැහැරගෙන ගොස් ඝාතනය කර, වළ දමා ඔහුගේ එම වළ මත කෙසෙල් ගසක් සිටුවන ලද සිද්ධිය සම්බන්ධයෙන් ය.

ඉන්අනතුරුව , නඩුව 2016 දී මහාධිකරණයට මාරු කරනු ලැබුවේ ය.

ධර්මලිංගම් ඉලමාරන් නොහොත් රවී, වීරකුට්ටි සේකර්, මහේන්ද්‍රරාජා විනෝරාජ් නොහොත් විජේ, යෝගරාසා ජයකුමාර් නොහොත් ජෙක්කා, සිරිස්කාන්තරාජා නාගනාදන් නොහොත් සිරි, සොක්කලිංගම් නාගරාසා නොහොත් සිවා, අරුණාචලම් රාමචන්ද්‍රන් නොහොත් අරුල් සහ ගෝවින්දන් ප්‍රදීපන් නොහොත් විජි යන අය අධිකරණයේදී එලෙස වරදකරුවන් කරනු ලැබුවේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව , වරදකරුවන් 8 දෙනාම  අධිකරණයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.