ශෂි විරවංශට වසර දෙකක සිර දඬුවම්

ශෂි විරවංශට වසර දෙකක සිර දඬුවම්

by Staff writer 18-11-2026 | 6:49 PM

COLOMBO(News1st) - අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට  නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.

එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ  අභියාචන පෙත්සම  ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝග කළේය.

පෙත්සම සලකා බැලීමේදී විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ වහාම බන්ධනාගාර භාරයට පත් කළේය.

අදාළ නියෝගය ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කාරිය භාවිතා කර ඇත්තේ අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් නොව ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවයි.

ඒ බව දැන දැනම එම ගුවන් බලපත්‍රය ඇය විසින් භාවිතා කර ඇති අතර, එම වරද සිදුකිරීම වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කරන ලද සිර දඬුවම මහාධිකරණයෙන් තහවුරු කිරීමෙන් පසු ඇයට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දී ඇති නියෝගය දෝෂ සහගත බව ද විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය,බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේ 2022 වසරේ මැයි මස 27 වනදායි.

එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාස 6ක සිර දඬුවමක්  ලබාදීමටත් අධිකරණය නියෝග කළේය.