.webp)

- ආර්ථික ස්ථාවරත්වය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම සඳහා නවෝත්පාදන සහ පර්යේෂණ ක්ෂේත්රය නව මාවතකට යොමු කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින් 'පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම' පිහිටුවීම සඳහා 2026-06-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජනාධිපති ලේකම් විසින් අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුවක් විසින් යෝජිත කොමිසම සහ ඊට අනුබද්ධිත කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට පදනම් කර ගැනීම පිණිස සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ. එම සංකල්ප පත්‍රිකාව අනුව ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන පද්ධතිය උපායමාර්ගිකව හැසිරවීම, සම්බන්ධීකරණය, නිරීක්ෂණය සහ සංවර්ධනය සම්බන්ධයෙන් වගකියනු ලබන මධ්‍යගත ආයතනය ලෙස ජාතික පර්යේෂණ හා සංවර්ධන කොමිසම කටයුතු කරනු ඇත. එමෙන්ම, වඩාත් කාර්යක්ෂම ජාතික පර්යේෂණ හා සංවර්ධන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් යෝජිත පාලන ව්‍යුහය, ආයතනික විධිවිධාන සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා වන නිර්දේශ ද එම සංකල්ප පත්‍රිකාව මඟින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම සහ ඊට අනුබද්ධ කාර්යාලය ස්ථාපිත කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ගරු ජනාධිපතිතුමා; සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර පහත සඳහන් පරිදි අවබෝධතා ගිවිසුම්වලට/ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය අතර අධ්‍යාපනික සහයෝගිතාව වැඩිදියුණු කිරීම, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරුවලට අදාළ ද්‍රව්‍ය හුවමාරු කිරීම, අධ්‍යයන කාර්යමණ්ඩල, පර්යේෂණ විද්වතුන් හා සිසුන් හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහමකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය අතර ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලය, චීනයේ Xi'an Jiaotong‑Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි Universitat La Salle අතර පර්යේෂණ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ප්‍රකාශන ඉදිරිපත් කිරීම හා පර්යේෂණ සහයෝගිතාවට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම සහ එම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් ප්රදානය කිරීමට අදාළව දෙපාර්ශ්වය අතර වන ගිවිසුම (Umbrella Cotutelle Agreement).
-ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම
- බංග්ලාදේශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගිතාව පුළුල් කිරීම සඳහා වන බංග්ලාදේශ-ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එමඟින්, දෙරට අතර දැනට පවතින දේශපාලන උපදේශන යාන්ත්‍රණය විදේශ අමාත්‍ය මට්ටම දක්වා උසස් කිරීම සහ දැනට ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික සහයෝගිතාවේ සියලු ක්ෂේත්‍ර ඵලදායී ලෙස සමාලෝචනය හා ඇගයීම සිදු කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, බංග්ලාදේශ-ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයෙහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව න්‍යෂ්ටික සහ වෙනත් විකිරණශීලි ද්‍රව්‍ය, ඒ ආශ්රිත පහසුකම් සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධව අනවසර හෝ සාපරාධී ක්‍රියා වැළැක්වීම, ඒවා හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ තන්ත්රයක් පවත්වා ගැනීමට කැප වී සිටියි. ඒ අනුව, න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්ති පෙළගැස්වීම, තර්ජන තක්සේරු කිරීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය සඳහා වෙන් වූ ස්ථිර, මධ්‍යගත යාන්ත්‍රණයක් වශයෙන් ආරක්ෂක, නෛතික සහ අනෙකුත් අදාළ විෂයයන් භාර ආයතනවල සාමාජිකත්වයෙන් යුතුව ජාතික කමිටුවක් විධිමත් ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. අදාළ කමිටුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ ස්ථාපනය කිරීමට යෝජනා කරනු ලැබ ඇති අතර, එහි ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් කටයුතු කරනු ඇත. ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ එකී ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය කෙරෙහි තරුණ සහභාගිත්වය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි අවධානයක් යොමු වී තිබේ. 2025 දෙසැම්බර් මාසයේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හත්වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද 'පාරිසරික ක්‍රියාවලින් සහ පාරිසරික අධ්‍යාපනය තුළ තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය වැඩිදියුණු කිරීම' පිළිබඳ යෝජනාව සම්මත වී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාව ද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පාර්ශ්ව රාජ්‍යයක් ලෙස බැඳී සිටී. එසේම, පරිසර අධ්‍යාපනය හා පරිසර ක්‍රියාකාරකම් සඳහා තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය ලබා ගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තරුණ කටයුතු බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස දැනට ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති යෞවන සමාජ සහ දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පිහිටුවා ඇති යෞවන සමාජ සම්මේලනය මෙන්ම ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය වැනි ආයතන උපයෝගී කර ගැනීමට හැකියාව ඇත. ඒ අනුව, එකී යාන්ත්‍රණය භාවිත කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික පාරිසරික වැඩසටහන් දියත් කිරීමටත්, එම වැඩසටහන් සහ පරිසර ක්‍රියාකාරකම් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමටත්, එකී ජාතික වැඩසටහන් නිසි පරිදි ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වීම සහතික කිරීම පිණිස ජාතික පරිසර මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා; සහ පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- පද්ධති අන්තර්හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව (කිලෝමීටර -1+820) සිට ඉංගිරිය (කිලෝමීටර 24+000) දක්වා වන මාර්ග කොටස ඉදිකිරීම පිණිස 2026-07-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම අදියර කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන්ට පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
- ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ බස්නාහිර සහ උතුර යන පළාත්වල ග්‍රාමීය මාර්ග පැකේජ 05ක් පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 17ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී පැකේජ 05න් පැකේජ 03ක් සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස 2026-09-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉතිරි පැකේජ 02 සඳහා ලැබී ඇති ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, එකී කොන්ත්‍රාත්තු පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස වන පැකේජ අංක 1 කොන්ත්‍රාත්තුව M/s RR Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 752.41ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස වන පැකේජ අංක 3 කොන්ත්‍රාත්තුව M/s RR Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 773.33ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම
- ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මාර්ග කොටස් කිහිපයක් වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අදාළ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන්ට පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
- මුදුන් ඇළ ජල පෝෂක ප්‍රදේශය ආශ්‍රිතව ඇති ඇළ මාර්ග පද්ධතිය ඔලියමුල්ල, පෑලියගොඩ හා පෙතියාගොඩ යන ප්‍රදේශවලින් කැලණි ගඟ හා සම්බන්ධ වේ. කැලණි ගඟේ ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන ගංවතුර තත්ත්වයන්හිදී එම ඇළ මාර්ගයන් මඟින් ගංවතුර එකී නාගරික ප්‍රදේශ තුළට ඇතුළු වීම නිසා මුදුන් ඇළ ජල පෝෂකයේ පහත් බිම් ගංවතුර අවදානමට ලක් වේ. එම ගැටලුව සම්බන්ධව සිදු කරනු ලැබ ඇති අධ්‍යයනයන් මඟින් ගංවතුර අවදානම අවම කිරීම සඳහා අදාළ ජල පෝෂක ප්‍රදේශයේ ප්‍රධාන ඇළ මාර්ගය කැලණි ගඟට සම්බන්ධවන ඔලියමුල්ල ප්‍රදේශයේ ජල පොම්පාගාරයක් ඉදි කිරීම නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය දායකත්වය යටතේ මුළු ධාරිතාව 35m3/sකින් යුතු ජල පොම්පාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඔලියමුල්ල ප්‍රදේශයෙහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. අදාළ ව්‍යාපෘතියේ අදියර I යටතේ 15m3/sක ධාරිතාවකින් යුතු පොම්පාගාරයක් සහ අදියර II යටතේ 20m3/sක ධාරිතාවකින් යුතු පොම්පාගාරයක් ඉදි කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, රුපියල් මිලියන 5,962.13ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027-2031 කාලසීමාව තුළ ඔලියමුල්ල පොම්පාගාර ව්‍යාපෘතියේ අදියර I ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ෆ්රෑන්ක්ෆර්ට්, ඉන්චියොන්, ලාහෝර් සහ අහමදාබාද් යන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරකදී (04) ගුවන්යානා ඉන්ධන සැපයීම සඳහා කොන්ත්‍රාත්තුකරුවන් තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු අටක් (08) ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර පහසුකම් යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-10-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. මේ වන විට ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ පවුල් 8,660ක් සඳහා අදාළ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී එම බැංකුව විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර ඇත. ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් පළමු අදියරේදී දිස්ත්‍රික්ක 07ක පවුල් 4,900ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී ඇති අතර, එහි දෙවන අදියරේදී දිස්ත්‍රික්ක 05ක මේ වන විට හඳුනා ගනු ලැබ ඇති පවුල් 6,600ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දීමට සැලසුම් කර තිබේ. එම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් මත දැනට සවිබල ගැන්වීමේ පවුල් ඒකකයක් සඳහා ලබා දෙන මූල්‍ය ප්රදානය ඉහළ නැංවීමට සහ ව්‍යාපෘතියේ ගුණාත්මක භාවයට හානියක් නොවන පරිදි ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ලෝක බැංකුවේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සවිබල ගැන්වීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 10,975 සිට 11,500ක් දක්වා වැඩි කිරීමටත්, දැනට ලබා දෙන රුපියල් 150,000/-ක උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සීමාව එම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී හඳුනා ගනු ලබන සුදුසුකම්ලත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 200,000/-ක් දක්වා වන සේ වැඩි කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් එහි සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු 2019-10-27 දිනැති හා අංක 2146/37 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝග මඟින් අවසන් වරට සංශෝධනය කරනු ලැබ තිබේ. වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන පරිදි එම ගාස්තු තවදුරටත් සංශෝධනය කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන අනුව සාදනු ලැබ ඇති 2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග, 2026-10-06 දිනැති හා අංක 2509/17 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එස්.එන්.බී.එම්.පද්මසිරි මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2026-10-31 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩුව පවතින රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට දැනට එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (වැඩ) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ I ශ්‍රේණියේ නිලධාරි, කේ.යූ.කේ.කෝන්ගහවත්ත මහතා පූර්ණකාලීනව වැඩබැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට එම බැංකුව සමඟ විධිමත් සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-09-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ණය මුදල ලබා ගැනීම සඳහා වන සම්මුති සාකච්ඡා මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ අදාළ ණය ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම පිණිස 2026-09-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අදාළ වන බදුවලින් නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් ලබා දීමට හැකි වන පරිදි ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරමින් 2026-09-23 දිනැති හා අංක 2507/47 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් නියමයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
