බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවකට...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවකට...

by Staff writer 17-11-2026 | 7:23 AM

COLOMBO(News1st) - ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය  සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එය 'අක්වාන්' ලෙස නම් කර ඇති බවයි.

සුළි කුණාටුව හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්නැයි රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මෙම සුළිකුණාටුව අද(17) පස්වරුව වන විට දරුණු සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති අතර පසුව එම පද්ධතිය වයඹ දෙසට ගමන් කර අනිද්දා(19) අලුයම වන විට ඉතා දරුණු සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බව සඳහන් වේ.

20 වනදා පෙරවරු කාලයේදී එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රෙ‍ෙද්ශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලොර් සහ ටුනී අතරින් ගමන් කරනු ඇති.

මේ අතර බස්නාහිර, සබරගමුව, සහ වයඹ  පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 02න් පසු ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.