චීනයේ විදුලි ගුවන් යානය පළමු ගමන සාර්ථකව නිම කරයි!

මගීන් 19ක් රැගෙන යා හැකි චීනයේ විදුලි ගුවන් යානයක් එහි පළමු ගුවන් ගමන සාර්ථකව නිම කරයි!

by Janitha Mendis 15-11-2026 | 9:01 AM

COLOMBO(News1st) - සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, මගීන් 19 දෙනෙකු රැගෙන යා හැකි චීනයේ නවතම මගී ගුවන් යානය සිය පළමු මිනිසුන් සහිත ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ.

CE-25A ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය, නොවැම්බර් 14 වැනිදා නැගෙනහිර චීනයේ ෂැන්ඩොං (Shandong) පළාතේ බින්ෂෝ (Binzhou) ප්‍රදේශයේදී සිය පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගුවන් ගමන සිදුකර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

ටොන් 10ක පමණ උපරිම ගුවන්ගත කිරීමේ බරක් සහිත මෙම යානයේ පළමු පරීක්ෂණ ගුවන් ගමන සඳහා ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ පරීක්ෂණ ඉංජිනේරුවෙකු එක්ව සිට තිබේ.

එම පරීක්ෂණය මිනිත්තු 57යි තත්පර 46ක කාලයක් පැවති අතර, ඉන් මිනිත්තු 16යි තත්පර 38ක් යානය ගුවනේ පියාසර කර තිබේ. එහිදී කිලෝමීටර් 60.4ක දුරක් ආවරණය කර ඇත.

යානයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවූ බවත්, පරීක්ෂණයේදී අපේක්ෂිත කාර්යසාධන දර්ශක සියල්ල සපුරා ඇති බවත් සංවර්ධන කණ්ඩායම සඳහන් කර තිබේ.

මගීන් 19කට ගමන් කළ හැකි විදුලි ගුවන් යානයක් 

චීනයේ Commercial Aircraft Corporation of China (COMAC) සමාගම විසින් නිපදවා ඇති CE-25A යානය එම සමාගම නිෂ්පාදනය කළ පළමු විදුලි වාණිජ ගුවන් යානයයි.

මෙම යානය ප්‍රධාන වශයෙන් නගර අතර කෙටි දුර වාණිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

එහි තාක්ෂණික විශේෂාංග අතර,

* මගී ධාරිතාව – 19 දෙනෙකු
* උපරිම ගුවන්ගත කිරීමේ බර – ටොන් 10ක්
* ගමන් වේගය – පැයට කිලෝමීටර් 300ක්
* ගමන් කළ හැකි උපරිම දුර – කිලෝමීටර් 400ක්
* ගමන් කරන උස – මීටර් 2,400ක්

විශේෂයෙන්ම සාම්ප්‍රදායික ගුවන් යානා මෙන් ගුවන් ඉන්ධන දහනය කරන එන්ජින් වෙනුවට, පියාපත් මත සවිකර ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන විශේෂ විදුලි පංකා පද්ධතියක් මගින් මෙම යානයට බලය සැපයේ.

මිනිසුන් රහිතව පියාසර කිරීමේ හැකියාවත් සහිතයි!

මෙම යානයේ විශේෂත්වයක් වන්නේ මිනිසුන් රහිතව ස්වයංක්‍රීයව පියාසර කිරීමේ තාක්ෂණයෙන් ද සමන්විත වීමයි.

CE-25A යානය සිය පළමු මිනිසුන් රහිත ස්වයංක්‍රීය ගුවන් ගමන සාර්ථකව සිදුකර ඇත්තේ 2026 වසරේ පෙබරවාරි 2 වැනිදාය.

එතැන් සිට මේ දක්වා මිනිසුන් රහිත ස්වයංක්‍රීය පියාසර පරීක්ෂණ 19ක් සම්පූර්ණ කිරීමට එම යානය සමත්ව තිබේ.

වාණිජ ගුවන් ගමන් සඳහා තවත් පියවරක්!

මෙම ව්‍යාපෘතිය COMAC සමාගම, ලොව ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයෙකු වන CATL සමාගම, ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්‍යාලය ඇතුළු චීන හවුල්කරුවන් රැසකගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.

CE-25A යානය සඳහා අවශ්‍ය වර්ග සහතිකය (Type Certificate) ලබා ගැනීමේ අයදුම්පත චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය විසින් භාරගෙන ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගුවන් ගමන සාර්ථක වීමත් සමඟම යානය වාණිජ මගී ප්‍රවාහනය සඳහා සූදානම් බවක් අදහස් නොවේ. ඒ සඳහා තවදුරටත් තාක්ෂණික පරීක්ෂණ සහ ගුවන් ආරක්ෂණ සහතිකකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා තාක්ෂණය වාණිජ ගුවන් සේවා ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ චීනයේ මෙම ව්‍යාපෘතිය ලෝකයේ ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.