ගුවනේදී Starship අල්ලාගත් SpaceX!

පෘථිවි කක්ෂයේ සිට පැමිණි Starship යානය ගුවනේදීම අල්ලා ගැනීමට SpaceX සමත් වෙයි!

by Janitha Mendis 15-11-2026 | 8:47 AM

COLOMBO (News1st) - අභ්‍යවකාශයේ සිට නැවත පෘථිවියට පැමිණෙන අභ්‍යවකාශ යානයක් සාගරයට පතිත නොකර, එය දියත් කළ කුලුනේ සවිකර ඇති දැවැන්ත යාන්ත්‍රික බාහු දෙකකින් ගුවනේදීම අල්ලා ගැනීමට SpaceX සමාගම සමත්ව තිබේ.

මෙය අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී තාක්ෂණික ජයග්‍රහණයක් වන අතර, පෘථිවි කක්ෂයේ සිට නැවත පැමිණෙන Starship අභ්‍යවකාශ යානයක් දියත් කිරීමේ කුලුන මගින් සාර්ථකව අල්ලා ගත් පළමු අවස්ථාව මෙයයි.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි SpaceX සමාගමේ Starbase මධ්‍යස්ථානයේදී මෙම ඓතිහාසික සිදුවීම වාර්තා වූයේ නොවැම්බර් 14 වැනිදාය.

ඇයි මේ තාක්ෂණය මෙතරම් වැදගත්?

සාමාන්‍යයෙන් අභ්‍යවකාශයට යවන රොකට්වල කොටස් නැවත පෘථිවියට පැමිණීමේදී සාගරයට පතිත කිරීම හෝ වෙනත් ආකාරයකින් ගොඩබැස්වීම සිදු කරයි.

විශේෂයෙන්ම Starship වැනි අභ්‍යවකාශ යානා සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණ මෙහෙයුම්වලදී යානය පෘථිවියට නැවත පැමිණීමෙන් පසු සාගරයට පතිත වීමට සලස්වා තිබිණි.

එහෙත් එවැනි ක්‍රමයකදී යානය නැවත ලබා ගැනීම, ප්‍රවාහනය කිරීම, පරීක්ෂා කිරීම සහ ඊළඟ මෙහෙයුම සඳහා සූදානම් කිරීම වෙනම ක්‍රියාවලියකි.

SpaceX සමාගමේ නවතම අරමුණ වන්නේ එම ක්‍රියාවලිය වෙනස් කිරීමයි.

එනම්, අභ්‍යවකාශයට ගමන් කරන යානය නැවත පෘථිවියට පැමිණි විට එය සාගරයට පතිත නොකර, දියත් කළ ස්ථානයේදීම යළි අල්ලා ගැනීමයි.

එමගින් යානය නැවත ලබා ගැනීමට සහ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කාලය හා පිරිවැය අවම කර, එය නැවත භාවිත කිරීම වඩාත් කාර්යක්ෂම කිරීම SpaceX සමාගමේ අපේක්ෂාවයි.

දිගුකාලීනව මෙය සාර්ථක වුවහොත් අභ්‍යවකාශ ගමන් සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, කෙටි කාල පරාසයන් තුළ නැවත නැවතත් අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීමටත් අවස්ථාව උදාවනු ඇත.

‘Mechazilla’ යනු කුමක්ද?

මෙම මෙහෙයුමේදී Starship යානය අල්ලා ගැනීමට භාවිත කළේ SpaceX සමාගමේ ‘Mechazilla’ ලෙස නම් කර ඇති දැවැන්ත දියත් කිරීමේ කුලුනයි.

එහි සවිකර ඇති ‘Chopsticks’ ලෙස හඳුන්වන යාන්ත්‍රික බාහු දෙක මගින් නැවත පෘථිවියට පැමිණෙන රොකට් කොටස් ගුවනේදීම අල්ලා ගැනීමට හැකියාව පවතී.

මීට පෙර SpaceX සමාගම Super Heavy නමැති රොකට් බූස්ටරය එම යාන්ත්‍රික බාහු මගින් අල්ලා ගැනීමට සමත්ව තිබුණද, පෘථිවි කක්ෂයේ සිට නැවත පැමිණි Starship අභ්‍යවකාශ යානයක් අල්ලා ගැනීමට සමත්වූයේ මෙවරය.

පැය 22කට අධික අභ්‍යවකාශ ගමනකින් පසු ඓතිහාසික මෙහෙයුමක්!

නොවැම්බර් 13 වැනිදා දියත් කළ Starship හි 15 වැනි පරීක්ෂණ මෙහෙයුමේදී යානය පෘථිවිය වටා වට 14ක් ගමන් කර තිබිණි.

පැය 22.5කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කළ යානය, පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමෙන් අනතුරුව එහි එන්ජින් යළි ක්‍රියාත්මක කරමින් සිරස් අතට හැරී Starbase මධ්‍යස්ථානය වෙත පැමිණියේය.

අනතුරුව ‘Chopsticks’ යාන්ත්‍රික බාහු දෙක අතරට නිවැරදිව පිවිසි යානය, එම බාහු මගින් සාර්ථකව අල්ලා ගැනිණි.

මෙම මෙහෙයුමේදී Starlink V3 චන්ද්‍රිකා 26ක් ද අභ්‍යවකාශගත කිරීමට Starship සමත්ව තිබිණි.

කෙසේ වෙතත්, මෙහෙයුමේදී Super Heavy නමැති පළමු අදියරේ රොකට් බූස්ටරය නැවත දියත් කිරීමේ කුලුන වෙත ගෙන ඒමේ උත්සාහය අසාර්ථක විය. ඉන්ධන සම්බන්ධ අනතුරු ඇඟවීමක් හේතුවෙන් එය ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ මුහුදු ප්‍රදේශයට යොමු කිරීමට සිදුවිය.

ඒ අනුව මෙවර මෙහෙයුමේදී Starship අභ්‍යවකාශ යානය සාර්ථකව අල්ලා ගැනීමට හැකිවුවද, රොකට් පද්ධතියේ කොටස් දෙකම නැවත අල්ලා ගැනීමේ අරමුණ සම්පූර්ණ කර ගැනීමට SpaceX සමාගමට හැකිවූයේ නැත.

සඳට සහ අඟහරුට යන ගමනට නව බලාපොරොත්තුවක්!

SpaceX සමාගමේ දිගුකාලීන අරමුණ වන්නේ සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමයි.

එය සාර්ථක වුවහොත් සඳ වෙත මිනිසුන් රැගෙන යාම, අඟහරු ගවේෂණය සහ විශාල පරිමාණයෙන් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම වැනි මෙහෙයුම් සඳහා නව මංපෙත් විවර වනු ඇත.

ඒ අනුව අභ්‍යවකාශයට ගොස් නැවත සාගරයට පතිත වීම වෙනුවට, තමන් ගමන් ආරම්භ කළ ස්ථානයේදීම යළි අල්ලා ගැනීමට හැකි අභ්‍යවකාශ යානා යුගයක් කරා ලෝකය ගමන් කරමින් සිටින බවට මෙම ජයග්‍රහණය ප්‍රබල සංඥාවක් සපයයි.