රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන හැටි..

අයවැය අනුව, 2027 ආරම්භයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන හැටි..

by Staff writer 15-11-2026 | 2:00 PM

COLOMBO(News1st) -සමස්ත රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ක්‍රියාවලියේ තුන්වන සහ අවසාන අදියර  ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 110ක් වෙන් කර තිබේ.

ලබන වසරේ ජනවාරී පළමු වනදා සිට වැටුප් වැඩි කිරීමේදී කාණ්ඩ කිහිපයක රාජ්‍ය සේවකයින්ට 77 % ඉක්මවූ ප්‍රතිශතයකින් වැටුප් වැඩිවීම විශේෂත්වයකි.

2024 දී පළමු ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහකයෙකුට ලැබුණු රුපියල් 29790ක වැටුප 2027 ජනවාරි පළමු වනදා සිට රුපියල් 49,940ක් දක්වා වැඩි වෙයි.

ඒ රුපියල් 20,190කින් ය.

එය 67.87% ක වැඩිවීමකි.

දෙවන සහ තුන්වන ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහයකයෙකුගේ වැටුප් ද පිළිවෙලින් 66.51% කින් සහ 64.95% කින් වැඩි කෙරෙනු ඇති.

පළමු, දෙවන හා තුන්වන ශ්‍රේණියේ රියදුරු වැටුප් ද 2024 ට සාපේක්ෂව පිළිවෙලින්  68.67 % කින්,  67.49% කින් සහ 65.88% කින් 2027 දී වැඩි වෙයි.

පළමු ශ්‍රේණියේ කළමනාකරණ සේවා නිලධාරියෙකුගේ වැටුප 2024ට සාපේක්ෂව 2027 දී වැඩිවන්නේ රුපියල් 25.460කින් ය.

දෙවැනි ශ්‍රේණියේ කළමනාකරණ සේවා නිලධාරියෙකුගේ වැටුප රුපියල් 22,210 කින් වැඩිවන අතර රුපියල් 19,530කින් තුන්වන ශ්‍රේණියේ කළමනාකරණ සේවා නිලධාරියෙකුගේ වැටුප වැඩි වෙයි.

සංවර්ධන නිලධාරීන්ගේ වැටුප 2024 ට සාපේක්ෂව 2027 දී කැපී පෙනෙන ලෙස වැඩිවන අතර පළමු ශ්‍රේණියේ සංවර්ධන නිලධාරියෙකුගේ වැටුප වැඩි වන්නේ, 71.80% කින් ය.

දෙවැනි ශ්‍රේණියේ සංවර්ධන නිලධාරියෙකුගේ වැටුප 70.08 % කින් සහ තුන්වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරියෙකුගේ වැටුප 68.50 % කින් වැඩිවීමද විශේෂත්වයකි.

2024 දී රුපියල් 41,850ක්ව පැවැති පරිපාලන නිලධාරියෙකුගේ වැටුප 2027 ආරම්භයේදී රුපියල් 71,240ක් දක්වා රුපියල් 29,660කින් වැඩි වෙයි.

තුන්වන ශ්‍රේණියේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ වැටුප 2024 දී පැවතියේ රුපියල් 47,615ක් ලෙසයි.

එය 2027 ආරම්භයේදී රුපියල් 82,150ක් දක්වා රුපියල් 34,535කින් වැඩිකර තිබේ.

වෛද්‍ය නිලධාරීන්ට , අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට , ලේකම්වරුන්ට , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට මෙන්ම හෙද නිලධාරීන්ටත් 2024 ට සාපේක්ෂ 2027 දී කැපී පෙනෙන ලෙස වැටුප් වැඩිවීමක් සිදුවෙයි.

එමෙන්ම පොලිස් කොස්තාපල් , පොලිස් සැරයන් හා පොලිස් පරීක්ෂකරුවන්ට මෙම වැටුප් වැඩිවීම සිදුවන අතර  ගුරු , විදුහල්පති හා ගුරු උපදේශකවරුන්ටත් මෙම වැටුප් වැඩිවීම උපරිමය 77.80 % කට යටත්ව සිදුවීම විශේෂත්වයකි.

අයවැය අනුව, 2027 ආරම්භයේදී වැටුප් වැඩි වෙන හැටි..