ප්‍රදේශ කිහිපයකට තද වැසි..

ප්‍රදේශ කිහිපයකට තද වැසි..

by Staff writer 08-11-2026 | 9:23 AM

 COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර කලු, ගිං, කැළණි සහ නිල්වලා ගංගාවල ජලමට්ටම් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ අකුරැස්ස ප්‍රෙද්ශයෙන් සුළු ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර , නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ නායයෑමේ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ද ඒ අතරට ඇතුළත්.