.webp)
-627500.jpg)
කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, ජලය ක්‍රමානුකූලව බැස යෑමට බාධාවක් වන කාණු පද්ධති සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීමටත්, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
කොළඹ මහ නගර සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය විය. එම අනවසර ඉදිකිරීම් ඉවත් කර, අදාළ පිරිස් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ කසළ විධිමත්ව බැහැර කිරීම සහ ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර, නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාරනායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති (මේජර් ජෙනරාල් - විශ්‍රාමික) එම්.කේ.ඩී.පී. මාපලගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
