රඛිතගේ ගිණුම් 4ක්,වාහන 3ක් පරිහරණය අත්හිටුවයි.

රඛිතගේ බැංකු ගිණුම් 4ක් හා වාහන 3 ක් මාස තුනක කාලයකට පරිහරණය අත්හිටුවයි.

by Nadeeshan Meedin 05-11-2026 | 10:41 PM

COLOMBO(News1st) - හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 04 ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළේය.

ඒ අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්‍රකාරව මෙම දේපල අත්හිටුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දින 07ක් ඇතුළත මහාධිකරණයට කරුණු දැක්විය යුතු වේ.

එම පනත ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් ඉකුත්  30 වැනිදා නීතිඥ රඛිත රාජපක්ෂට අයත් මෙම දේපල අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන "හරක් කටා" නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ඔහු එම රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ ,චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය ජුනි 25 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකරුවන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, සැකකරුවන් තිදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කරමින් පසුගිය ජුලී 28 වැනිදා ඇප නියම කළේය.