ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි...

ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි, මෙරටට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවන ලකුණු...

by Staff writer 28-10-2026 | 7:32 AM

COLOMBO (News 1st) - “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ කාලගුණ තත්ත්වයට ඇති බලපෑම අද (28) සිට ක්‍රමයෙන් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇත.

කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය තවරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 3කට නිකුත් කළ නායායෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ,දොඩංගොඩ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලය මෙන්ම නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඒ අතරට ඇතුළත්.

තවද දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට අදියර 2 යටතේ හා දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28කට අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ය.

පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක බලපෑමට ලක්ව ඇති පිරිස 15,000 කට අධිකයි.

මේ අතර දිවයිනේ සියලු පාසල් අද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න පවසයි.

ඊයේ (27) දිවයිනේ සියලු පාසල් වසා දැමුණේ, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.