ඔර්නබ් ප්‍රබල සුළිකුණාටුවක්වෙයි,ප්‍රදේශ රැසකට වැසි

ඔර්නබ් ඉතා ප්‍රබල සුළිකුණාටුවක් වෙයි, ප්‍රදේශ රැසකට තද වැසි..

by Staff writer 27-10-2026 | 9:26 AM

COLOMBO(News1st) - දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය අද(27) දිනයේත් අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළිකුණාටුවක් බවට පත්වී ඇති බවයි.

එය අද(27) අලුයම 2.30 වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති අතර සුළිකුණාටුව අද(27) පස්වරු 5.30 දක්වා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට පෙරවරුවේදී ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දීය ගොඩබිමට ඇතුල් වනු ඇති.

එම පද්ධතියේ සෘජු බලපෑමක් මෙරටට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය පවතින වැසි තත්ත්වයට හේතුවී තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර , සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය සඳහන් කළේ ය.

පවතින කාලගුණ තත්ත්වය මත බෙංගාල බොක්ක ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයට තවදුරටත් යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

අද අලුයම 3න් අවසන් වූ පැය 24 තුළ  මීලිමීටර් 163ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ කිලිනොච්චී පූනරීන් ප්‍රදේශයෙන් ය.

මන්නාරම ඉලුප්පෙක්කඩවයි ප්‍රදේශයට මිලිමීටර් 148ක්, 
යාපනය තොල්පුරම් වෙත මිලිමීටර් 110ක් සහ 
යාපනයේ මීසායී ප්‍රදේශයට මිලිමීටර් 101ක වර්ෂාපතනයක් ඇඳහැලී තිබේ.

පවතින අධික වැසි හමුවේ රත්නපුර , නුවරඑළිය, සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නයායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල , කුරුවිට, ඇලපාත සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඒ අතරට ඇතුළත් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ,දොඩංගොඩ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලය මෙන්ම නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ - අත්තනගල්ල
කලුතර දිස්ත්‍රික්කයේ - අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර ඉංගිරිය , මදුරාවල සහ මතුගම,
මහනුවර දිස්ත්‍රික්කයේ - උඩුනුවර සහ පස්බාග කෝරලය, ගඟ ඉහළ කෝරලය, උඩපලාත සහ යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කයේ - කෑගල්ල, රුවන්වැල්ල, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට, අරණායක, ගලිගමුව, දැරණියල , යටින්තොට, බුලත්කොහුපිටිය සහ වරකාපොල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ - කුරුණෑගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අදිරය දෙක යටතේ නායයෑම් පිළිබඳ නිවේදන නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ,කොත්මලේ බටහිර සහ නැගෙනහිර 
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතගල, කිරිඇල්ල බලංගොඩ ,ගොඩකවෙල, ඇහැලිගොඩ සහ කලවානට ද අදිරය දෙක යටතේ නයායයෑම් පිළිබඳ නිවේදන නිකුත් කළේ ය.

ගාල්ල, ගම්පහ, කළුතර , මහනුවර, කෑගල්ල , කුරුණෑගල, නුවරඑළිය රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

කළු, නිල්වලා සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ රත්නපුර සහ මිල්ලකන්දෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ පානදුගම ප්‍රදේශයෙනි.

දූනමලේ ප්‍රදේශයෙන් අත්තනගළු ඔය සුළු ගංවතුර මට්ටමේ පවතියි.

මීට අමතරව කැළණි , ගිං , මහ ඔය සහ  දැදුරු ඔය ගංවතුර අවධාමේ මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ ය.

අධික වැසි සමග මේ වන විට වැව් හා ජලාශ 30 ක් වාන් දමමින් පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, දැදුරු ඔය, රාජාංගනය සහ තබ්බෝව ඉඟිනිමිටිය, කාලා වැව යන ප්‍රධාන ජලාශ වාන් දමමින් පවතින බවයි.

අධික වැසි තත්ත්වය සැළකිල්ලට ගෙන දිවයිනේ සියලු පාසල් සහ පෙර පාසල් අද(27) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි.

හදිසි ආපදා අවස්ථාවකදි 117 හෝ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ 071 6 807 807 අංකය අමතිය හැකියි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ‍ජෙනරාල් විශ්‍රාමික අරුණ ජයසේකර පැවසුවේ, හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා ත්‍රිවිධ හමුදා මූලස්ථාන තුනේම මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කර ඇති  බවයි.

ඒ සඳහා පොලිස් මූලස්ථානයේද සහාය ලැබෙන බව නිවුස්ෆස්ට් කළ විමසුමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේ ය.