ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි. බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

by Staff writer 25-10-2026 | 8:09 AM

COLOMBO (News 1st) - උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම පද්ධතිය අද දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම හා ඊට යාබද ගිනිකොණදිග ප්‍රදේශය හරහා ගමන් කරමින් ගැඹරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.

ඒ අනුව හෙට දිනයේ මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවටත් 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රභල සුලි කුණාටුවක් බවටත් තීව්‍ර වීමේ සම්භාවිතාවක් පවතියි.

මෙම පද්ධතියෙන් මෙරටට සෘජු බලපෑමක් නොමැති වුවත් ඊට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පැවතීම හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකියි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , දකුණු, උතුරු සහ වයඹ පළාත් වලත් මහනුවර නුවරඑළිය හා අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර, කෑගල්ල, නුවරඑළිය , සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර 1 යටතේ අද පස්වරුවේ නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළේ ය.