මොරටු ව්‍යාපාරිකයා ඝාතන සිද්ධිය

මොරටු ව්‍යාපාරිකයා ඝාතන සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සැලැස්මක් දැයි සැකයක්... විමර්ශනයට කණ්ඩායම් 7 ක්.

by Nadeeshan Meedin 21-10-2026 | 7:54 PM

COLOMBO(News1st) - මොරටුව, සොයිසාපුර හෝටල් හිමිකරුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, ඇල්ටෝ ධර්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයෙන් යැයි සැක මතු වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 7ක් ක්‍රියාත්මකයි.

මොරටුව, සොයියාපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙක් ඉලක්ක කර ඊයේ(20) රාත්‍රී 8.45ට පමණ එම වෙඩිතැබීම සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ, නාදුනන පුද්ගලයින් 3 දෙනෙකු මෝටර් රථ‍යකින් පැමිණ වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අපරාධකරුවන් පැමිණි මෝටර් රථයද පොලිසිය භාරයේ ඇති අතර එය ව්‍යාජ අංක තහඩුවකින් ධාවනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, එම අංක තහඩුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සතු ත්‍රී රෝද රථයක අංක තහඩුවක් බවයි.

වෙඩි තැබීමෙන් මියගියේ, පින්නවල අප්පුහාමිලාගේ ලසන්ත කුමාර නොහොත් රත්තරන් නැමති 49 හැවිරිදි පන්නල සඳලංකාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ඔහු වසර 10ක පමණ කාලයක සිට මොරටුව, සොයියාපුර ප්‍රදේශයේ අවන්හලක් කුලී පදනම මත පවත්වාගෙන ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු ඊයේ අවහන්ල තුළ සිටි අවස්ථාවේ පැමිණි පිරිස T-56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් අවන්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි මොරටුව තෙලවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද තුවාල ලබා තිබේ.

වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු ඔහු සමග පැමිණි අනෙක් දෙදෙනා සමග එම මෝටර් රථයෙන්ම පලාගොස් තිබේ.

පොලිසිය පැවසුවේ,, එලෙස පලායන අතරවාරයේ අසල තිබූ යතුරු පැදියක මොටර් රථය ගැටී ඇති බවයි

සැකකරුවන් පිරිස පලායෑම සඳහා යොදාගත් යතුරුපැදිය කෝට්ටාව සිද්ධමුල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය ඊයේ රාත්‍රියේ සොයා ගත්තේය.

වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක වෙඩි තැබීම් 39 ක් සිදුව ඇති අතර ඉන් පුද්ලගයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

හොටල් හිමිකරුවන් ඉලක්ක කර මේ වසරේ එල්ල වූ පස්වැනි වෙඩි ප්‍රහාරය මෙයයි

පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි

පැදිකරුවන් 15 දෙනෙකු සහ අනුබල දුන් පුද්ගලයින් 130 දෙනෙකුද මේ වසරේ අත්අඩංගුවට ගෙන තිබේ.

වසරේ මේ දක්වා කාලය තුල පොලිස් භාරයට ගෙන ඇති ගිනි අවි ප්‍රමාණය 987ක්.

ඊට, T-56 ගිනි අවි 16ක්, පිස්තෝල 42ක් සහ රිවෝල්වර 28ක් ඇතුළත්.