පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

විපක්ෂයේ පාලනයේ පැවති පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි.

by Staff Writer . 20-10-2026 | 10:16 AM

COLOMBO(News1st) - විපක්ෂයේ පාලනයේ පැවති පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මහජන සේවා පවත්වා නොගැනීම හා මහජන ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සැළකිල්ලට ගනිමින් ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සඳහන් කළේ, රුපියල් මිලියන 718ෙක දිට්වා අරමුදල් මහජන සේවා සඳහා යොදා නොගැනීම,

රුපියල් මිලියන 40ක් වැය කර ජල නල මිලදී ගෙන ඇතත් එයින් ව්‍යාපෘති නොකිරීම,

ජනතා සේවා සඳහා වෙන් කළ රුපියල් මිලියන 18.5ක මුදලක් සේවා සඳහා ලබා දීමට අනුමත නොකිරීම ඇතුළු අකාර්යක්ෂමතා සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පාලන කටයුතු පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ. ඩබ්ලිව්. ජී. එල්. අත්තනායක යටතට පවරා තිබේ.

සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමඟි ජන බලවේගය නියෝජනය කළ කේ.එස්.බී. රාජනායක, අධිකරණ කටයුත්තකට අදාළව මේ වන විට සිරගතව සිටියි.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ, සර්ව ජන බලය නියෝජනය කරන පියල් ජයසිංහයි.