විරෝධතාකරුවන්ට ප්‍රංශ ජනපතිගෙන් අනතුරු ඇඟවීම්!

රජයට එරෙහි විරෝධතාකරුවන්ට ප්‍රංශ ජනපතිගෙන් අනතුරු ඇඟවීම්!

by Staff writer 19-10-2026 | 8:48 AM

COLOMBO(News1st) - ප්‍රංශ වැසියන් ලක්ෂ 5කට අධික පිරිසක් ඊයේ(18) සහ පෙරේදා(17) පැරිස් ඇතුළු නගර වල සිදුකල විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ කිසිදු ඉල්ලීමක් පවතින අසීමිත ප්‍රචණ්ඩත්වය හරහා සාධාරණීකරණය කළ නොහැකි බවයි

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වන එලීසේ මාලිගයේ සිට ජාතිය අමතමින් මැක්‍රෝන් අවධාරණය කළේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ප්‍රංශයේ ඓතිහාසික වටිනාකම් ඇති පැරණි ගොඩනැගිලි, පොදු ස්ථාන, මෝටර් රථ සහ පෞද්ගලික ව්‍යාපාරද ඇතැම් විරෝධතාකරුවන් සති අන්තයේදී ගිනි තබා විනාශ කර තිබේ.

සුප්‍රකට සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල් මෙන්ම කුඩා ව්‍යාපාර වෙත කඩා වදින මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් භාණ්ඩ කොල්ලකන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත විය.

සති අන්තයේ පමණක් පුද්ගලයින් 2,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

ගුරුවරු හිඟය ඇතුළු ගැටළු හුවා දක්වමින් එරට අධ්‍යාපනයට වෙන් කෙරෙන අරමුදල් ඉහළ නංවන්නැයි රජයට බලකරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ මුල ප්‍රංශයේ උසස් පාසැලක විරෝධතාවක් පැවැත්වුණු අතර පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වූ පාසැල් සිසුන් රට පුරා සිය පාසැල් තුළ අදාළ විරෝධතා ආරම්භ කළේ ය.

කෙසේ නමුත් ඇතැම් සිසුන් සිය පාසැල් අවහිර කරමින් ගැටළුවලට විසඳුම් ඉල්ලා සිටි අතර එම විරෝධතා තරමක් කලහකාරී මුහුණුවරක්ද ගත් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

එම කාලය තුල රජය අදාළ සිසු විරෝධතා දැඩිව පාලනය කළ ආකාරය ජාත්‍යන්තරයේ පවා විවේචනයට ලක්විය.

පසුව ඊට මහජනතාවගේ සහය හිමිවූ අතර ඉහළ යන ජීවන වියදම ඇතුළු ගැටළු මුලික කරගනිමින් එම විරෝධතා මේ වන විට රට පුරා ව්‍යාප්ත වී, සේවක වෘත්තීය සංගම් පවා එක්ව තිබේ.

එමැනුවෙල් මැක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ රජයට මෙලෙස දැවැන්ත මහජන විරෝධයක් එල්ල වන පසුබිමක එරට මීළඟ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතයි.