ඥානසාර හිමි හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

ඥානසාර හිමි හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

by Staff writer 19-10-2026 | 9:04 PM

COLOMBO(News1st) - පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නැවතත් බන්ධනාගාරගත වීමට අදාළ ගරු අධිකරණයේ තීරණය නිවැරදි අතර එම තීන්දුවට තමා ගරු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නැවතත් බන්ධනාගාරගත වීම සම්බන්ධයෙන්, නිවේදනයක් නිකුත් කරමින්ය.

හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේ නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ගරු අධිකරණයේ තීරණය නිවැරදි අතර එම තීන්දුවට තමා ගරු කරන බවයි.

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇති බවත් මෙම නඩු දෙකට අදාළව ඥාණසාර හිමියන්ට සමාව ලබාදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත්, එවකට ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය තමන්ට දැනුම් දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්.

කෙසේ වෙතත්, අදාළ ලිපි ලේඛන එම අමාත්‍යාංශයට යොමු කර අනුමැතිය ලබාගෙන නොතිබූ බවත්, තම අත්සන පමණක් ලබාගෙන තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය තමන් නොමඟ යැවීමක් බවයි.

තමන් ජනාධිපති ධුරය දැරූ කාලයේ නිලධාරීන් අතින් සිදු වූ බව කියන මෙම දෝෂය හේතුවෙන් ඥාණසාර හිමියන්ට නැවතත් බන්ධනාගාරගත වීමට සිදු වූ බව හිටපු ජනාධිපතිවරයයා සදහන් කරයි.

මෙම සිද්ධියට අදාළ වරද නිලධාරීන් අතින් සිදු වුවද, ඒ සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් තමන් සමාව අයැද සිටින බවද හිටපු ජනාධිපතිවරයා පවසයි.