ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෝටි 3කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 04-10-2026 | 9:05 AM

COLOMBO(News1st) - නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් තුන් කෝටි හැට පන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු මහනුවර , පල්ලෙකැළේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක් .

ඔහු සිය සිරුරේ , පාර්සල් 04 ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙනවිත් තිබුණි.

සැකකරු හා රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයකින් අනතුරුව ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂ තිස් හතක දඩ මුදලක් නියම කළේ ය.