අධික වර්ෂාවත් සමග පුද්ගලයින් 2865 දෙනෙකු පීඩාවට

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් 2865 දෙනෙකු පීඩාවට - ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

by Staff writer 26-09-2026 | 10:24 AM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් 2865 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 90ක පවුල් 768ක්, ඊට ඇතුළත්.

වර්ෂාධික කාලගුණයත් සමග සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

එක් අයෙකු අතුරුදන්.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 21 කට අයත් පුද්ගලයින් 77 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා ඇති බවයි.

---------------------------

කළු, ගිං සහ නිල්වලා ගංඟා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ, මිල්ලකන්ඳ ප්‍රදේශයෙන්.

කළු ගඟ, රත්නපුර සහ මඟුර ප්‍රදේශ වලින් ද, ගංවතුර අවදානම් මට්ටමේ පවතී.

ගිං ගඟ, සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇත්තේ, බද්දේගම ප්‍රදේශයෙන්.

පානදුගමින් ​සහ තල්ගහගොඩින්, නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී.

ඒ අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.

---------------------------

මේ අතර, අධික වැසි හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ,තවලම, නාගොඩ හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ නාය යෑමේ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ, උඩ පළාත, ගඟ ඉහළ කෝරලේ, පස්බාගේ කෝරලේ සහ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කෙරුණි.