ශිරන්ති රාජපක්ෂ විදෙස් ගත වෙයි...

FCIDයට කැඳවීමක් තිබියදී, ශිරන්ති රාජපක්ෂ විදෙස් ගත වෙයි...

by Staff writer 16-09-2026 | 8:48 AM

COLOMBO (News 1st) -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන බව ශිරන්ති රාජපක්ෂ අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ ලබන 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට ඇය කැඳවා ඇති පසුබිමකදීයි.

සිරිලිය ගිණුම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ ලබන 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබිණි.

කනිටු පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරාද,  ශිරන්ති රාජපක්ෂ සමග සිංගප්පූරු ගමනට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඔවුන් අද අලුයම 1.10 ට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ, සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකිනි.

මේ අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් කර තිබියදී රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව, ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේ ය.

එම සාමාජිකයා ප්‍රකාශ කළේ, ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස, මීට පෙර කිසිදු කැඳවීමක් කර නොතිබූ බවද එම සාමාජිකයා පැවසුවේය.

ගුවන් යානය අද අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී, ගුවන් තොටුපල නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී ඇති බවද, එම සාමාජිකයා සඳහන් කළේ ය.