රුමේෂ්ගේ හෙල්ල කට්ටලයට හානි වූයේ කෙසේද?

රුමේෂ්ගේ හෙල්ල කට්ටලයට ගුවන් ගමනේදී හානි වූයේ කෙසේද?

by Staff writer 15-09-2026 | 11:19 AM

COLOMBO(News1st) - ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.

ඒ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ සහ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජයගනිමිනි.

රුමේෂ් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගත්තේ මීටර 89.04ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පළමු වරට සංවිධානය කළ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශූරයා බවට පත් වුණේද ඔහුයි.

මීටර 91.09ක දක්ෂතාවයක් රුමේෂ් එහිදී ප්‍රදර්ශනය කළේ ය.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව සඳහා මේ වසරේ ක්‍රීඩකයකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවයේ වාර්තාවද රුමේෂ් තරංග සතුයි.

ඒ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝම අදියරේදී මීටර 92.62ක් දුරක් සටහන් කරමිනි.

දිවයිනට පැමිණීමේදී ඔහු භාවිතා කළ හෙල්ල සියල්ල විනාශ වී තිබේ.

එයට හේතුව මෙතෙක් ආණාවරණය වී නැහැ.

මේ අතර, රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරන බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රුමේෂ්ගේ පුහුණුවීම් කටයුතු බාධාවකින් තොරව කර ගැනීම සඳහා මෙම නව හෙල්ල කට්ටලය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි.