මියගිය විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල්වල වන්දිය ඉහළට

මියගිය මෙරට විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙත ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂ 14ක් දක්වා ඉහළට

by Staff writer 10-09-2026 | 11:19 AM

COLOMBO(News1st) - විදේශගතව සිටියදී මියගිය මෙරට ශ්‍රමිකයින්ගේ පවුල් වෙත ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂ 14ක් දක්වා ඉහළ දමා තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය වසරේ ජූනි මස 26 වන දිනයෙන් පසුව මියගිය විදෙස්ගත ශ්‍රමිකයින්ට එම වන්දි මුදල් බලාත්මක වනු ඇති බවයි.

මීට පෙර විදේශගතව සිටියදී මියගිය මෙරට ශ්‍රමිකයින්ගේ පවුල් වෙත ලබාදී තිබූ මුදල රුපියල් ලක්ෂ 6කි.

එහි පළමු පියවර ලෙස අද දිනයේදී 50 දෙනෙකු සඳහා මිලියන 70ක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නියමිතව තිබේ.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙනි.

එම වන්දි ප්‍රදානය යටතේ, වන්දි ලබා ගැනීමට නියමිතව සිටින සමස්ත පවුල් සංඛ්‍යාව 160කට අධික බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.