නැවත රට ගොඩ නැගීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මකයි

නැවත රට ගොඩ නැගීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මකයි: ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වයි!

by Janitha Mendis 08-09-2026 | 7:48 PM

COLOMBO(News1st) - නැවත රට ගොඩ නැගීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මකයි: ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වයි!

රටේ සංහිඳියාව, ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැගීමේ අභ්‍යන්තර ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වා තිබේ. ගැටුම්වල අවසානය යනු අභියෝගවල අවසානය නොව, එක්සත් ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ දිගු හා දුෂ්කර ගමනක ආරම්භය බව ද එහිදී අවධාරණය කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් හා සහයෝගීතාවයෙන් යුතුව මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ අඛණ්ඩව කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත්, මානව හිමිකම්, වගවීම සහ සංහිඳියාව යන ක්ෂේත්‍රවල ස්ථාවර ප්‍රගතියක් අභ්‍යන්තර යථාර්ථයන්ට ගැළපෙන පරිදි සහ රට තුළින්ම පාලනය විය යුතු බව ඔහු අවධාරණය කළේය.

ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන ජනවරමක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වී සැප්තැම්බර් මාසයට වසර දෙකක් සපිරෙන බව පෙන්වා දුන් තානාපතිවරයා, 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම සහ අඛණ්ඩ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුවද රජය විසින් කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව 2025 වසරේදී සියයට පහක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයක් වාර්තා කර ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සහ 2025-2029 ජාතික දූෂණ නිවාරණ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රියාමාර්ග හරහා සිය දූෂණ විරෝධී මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මානව හිමිකම් කවුන්සිලයේ 60/1 දරන යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් තානාපති සුමිත් දසනායක මහතා  කියා සිටියේ, බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක වරම දීර්ඝ කිරීමේ විධිවිධාන ඇතුළත් මෙම යෝජනාවට ශ්‍රී ලංකාව සහය නොදක්වන බවයි. එවැනි බාහිර යාන්ත්‍රණ මඟින් දැනටමත් ක්‍රියාත්මක වන ජාතික ක්‍රියාවලීන් දුර්වල වීමට සහ බෙදීම් ඇති වීමට හේතු විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

අපරාධ විමර්ශන, දූෂණ විරෝධී ප්‍රයත්න, සංහිඳියා මුලපිරීම් සහ අනුස්මරණ කටයුතුවල ප්‍රගතිය ඇතුළුව, ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ධනාත්මක වර්ධනයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පිළිගැනීම ඔහු අගය කළේය.

ගිය වසර තුළ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ මුලපිරීම් මාලාවක් තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව, මූලික නිදහස සුරක්ෂිත කිරීමට සහ අපයෝජනයන් වැළැක්වීම සඳහා සකස් කරන ලද නව නීති මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර වෙනුවට නව නීති සම්පාදනය කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය. යෝජිත නීතිමය රාමුව මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඉදිරි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

මාර්ගගත ආරක්‍ෂණ පනතට (Online Safety Act) යෝජිත සංශෝධන සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් සමග කළ සාකච්ඡා අවසන් වී ඇති අතර, යෝජිත සංශෝධන මේ වන විට අවසන් කරමින් පවතින බවද ඔහු පැවසීය.

තවද තානාපති දසනායක මහතා පවසන්නේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික ඒකාබද්ධ හා සංහිඳියා කාර්යාලය යන ස්වාධීන සංහිඳියා ආයතන, ශක්තිමත් කරන ලද සම්පත් හා සහයෝගය ඇතිව සිය වගකීම් අඛණ්ඩව ඉටු කරමින් සිටින බවයි. පවතින සංහිඳියා ආයතනවල වගකීම් සමග පැටලීම් වැළැක්වීම සඳහා සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාවක් සඳහා වන කෙටුම්පත් රාමුව මේ වන විට සමාලෝචනයට ලක්වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (independent prosecutor's office) පිහිටුවීම සඳහා වන යෝජනා අඛණ්ඩව පරීක්ෂා කරමින් සිටින බවත්, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අමාත්‍යාංශ අතර කමිටුවක් විසින් ඉඩම් නිදහස් කිරීම, තක්සේරු කිරීම සහ වන්දි ගෙවීම් ආශ්‍රිත ගැටලු සමාලෝචනය කරමින් සිටින බවත් තානාපතිවරයා අනාවරණය කළේය.

ගැටුම්කාරී සමයේදී වලංගු ගමන් බලපත්‍ර නොමැතිව රටින් පිටව ගිය, ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලංකීය සරණාගතයින්ට ස්වේච්ඡාවෙන් සහ ආරක්ෂිතව යළි පැමිණීම පහසු කිරීම සඳහා විශේෂ සංක්‍රමණ ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මලයගම් හින්දු/දෙමළ ප්‍රජාව තුළ පවතින දීර්ඝ කාලීන දුක්ගැනවිලි සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රජය පළමු වතාවට ඔවුන්ගේ ගැටලු පුළුල් ලෙස හා කඩිනමින් විසඳමින් සිටින බව තානාපති දසනායක මහතා පැවසීය.

පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය හෝ පසුබිම නොසලකා, ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ස්වාධීන ජාතික ක්‍රියාවලීන් හරහා විමර්ශන පවත්වමින් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැඩි ලෙස කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය.

ඉහළ පෙළේ සිද්ධීන් කිහිපයක විමර්ශන යළි විවෘත කිරීම සහ අඛණ්ඩ නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු මෑතකාලීන ක්‍රියාමාර්ග මඟින් වගවීම සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ කැපවීම මනාව පැහැදිලි වන බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති දිසානායක මහතා විසින් නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි, ජාතිවාදයේ, ආගමික අන්තවාදයේ හෝ බෙදී වෙන්වන දේශපාලනයේ යළි මතුවීමක් වැළැක්වීමට රජය දැඩි ලෙස කැපවී සිටින බවද ඔහු සඳහන් කළේය.

රට පුරා යුක්තිය පසිඳලීම සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සහ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම අරමුණු කරගත් යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ ඇතුළුව අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ උත්සාහයන් තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බන්ධනාගාර පරිපාලනය වැඩිදියුණු කිරීමට, සිරගෙවල්වල තදබදය අවම කිරීමට සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීමට රජය විසින් වේගවත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු පැවසීය. මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"ශ්‍රී ලංකාව දිගු හා අභියෝගාත්මක මාවතක් පසු කර ඇත. ගැටුම්වල අවසානය යනු අභියෝගවල අවසානය නොව සුවපත් වීම, යළි ගොඩනැඟීම සහ සංහිඳියාවේ දිගු ක්‍රියාවලියක ආරම්භය," බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාතික හිමිකාරීත්වය දුර්වල කරන ප්‍රවේශයන් වෙනුවට ප්‍රගතිය පිළිගැනීම, අවබෝධය සහ දිරිගැන්වීම මෙම ක්‍රියාවලියට අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කවුන්සිලයේ මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව සමබර, වෛෂයික සහ නිර්මාණාත්මක ආකාරයකින් තක්සේරු කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමින් තානාපතිවරයා සිය දේශනය අවසන් කළේය.

සියලුම පුරවැසියන් සඳහා සාමකාමී, සංහිඳියාවෙන් යුතු සහ සියලු දෙනා ඇතුළත් අනාගතයක් ගොඩනැඟීමේ ප්‍රයත්නයේදී ජාත්‍යන්තර ප්‍රජාවේ සහය පතන අතරම, ජාතික ආයතන සහ ජාතික ක්‍රියාවලීන් හරහා යුක්තිය, සංහිඳියාව, වගවීම සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ඔහු පැවසීය.