යෝෂිත ගොනුකළ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගනී.

යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගනී.

by Staff writer 07-09-2026 | 6:16 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු අභියාචන පෙත්සම ඔහු විසින්ම අද ඉල්ලා අස්කර ගැණුනි.

අභියාචන පෙත්සම ගොනුකර තිබුණේ, මුදල් විශූද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ තමාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ය.

අදාළ චෝදනාවට තම සේවාදායකයා කොළඹ මහාධිකරණයෙන් වරදකරු කළහොත් අදාළ තර්කය අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමේ අයිතිය තබාගෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නිතීඥ හෆිල් ෆාරිස් කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුහ.

පෙත්සම්කරුට සහ ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර, එම නඩුවේදී ඔවුන්ට එරෙහිව "කුමන්ත්‍රණය" නමැති චෝදනාව ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.

පසු අවස්ථාවක ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහි චෝදනා වලින් ඇය නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවද ඒ අනුව දෙදෙනෙකුට එරෙහිව තිබු "කුමන්ත්‍රණය" කිරීම නමැති චෝදනාවෙන් එක් විත්තිකාරියක් නිදහස් කළ පසු අනෙක් විත්තිකරුට එරෙහිව පමණක් "කුමන්ත්‍රණය" කිරීම නමැති චෝදනාව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව පෙත්සම්කරු පෙත්සමෙන් පෙන්වා දී  තිබුණි.

එබැවින් අදාළ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිඥවරු මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළත් මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව පවත්වාගෙන යෑමට කටයුතු කළ බව පෙත්සම්කරු කියා සිටියහ.

මහාධිකරණ විනිසුරුවරයාගේ එම තීරණය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභා කළ බව සඳහන් කරන පෙත්සම්කරු මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණයේ තීන්දු ඉවත දමා පෙත්සම්කරුට එරෙහිව මුදල් විශූද්ධිකරන පනත යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගය කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබුණි.