මහින්ද, රනිල්ගේ දූෂණ ගැන හෙළිදරව්වක්!

ජීනිවාවලින් විශේෂ වාර්තාවක්: මහින්ද සහ රනිල්ගේ දූෂණ විමර්ශන ගැන UNHRC වාර්තාවෙන් හෙළිදරව්වක්!

by Janitha Mendis 07-09-2026 | 9:03 PM

COLOMBO(News1st) - ජීනිවාවලින් විශේෂ වාර්තාවක්: මහින්ද සහ රනිල්ගේ දූෂණ විමර්ශන ගැන UNHRC වාර්තාවෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය, දූෂණය සහ වංචා හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙස කඩවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාව මගින් හෙළි කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරයට පූර්වගාමීව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පිළිබඳ විමර්ශන:

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් දැනට ආරම්භ කර ඇති ප්‍රමුඛ පෙළේ විමර්ශන කිහිපයක් පිළිබඳව ද මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත:

එයාර්බස් ගනුදෙනුව සහ මහින්ද රාජපක්ෂ:

දැඩි සංවාදයට ලක්වූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත්ව ඇති බව වාර්තාවේ දැක්වේ.

මහජන මුදල් අවභාවිතය සහ රනිල් වික්‍රමසිංහ: 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුවන මහජන මුදල් අවභාවිත කිරීමේ විමර්ශන පිළිබඳව ද UNHRC වාර්තාව මගින් අවධානය යොමුකර තිබේ.

ණය පොලී ගෙවීමට රාජ්‍ය ආදායමෙන් අඩක්ම වැය වෙයි!

අදාළ වාර්තාවට අනුව රටේ පවතින මූල්‍ය පීඩනය සහ රාජ්‍ය ආදායම් බෙදී යාම පිළිබඳව ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ:

ණය පොලී බර:


2026 අයවැය අනුව මෙරට රාජ්‍ය ආදායමෙන් 49.38% ක් වෙන් කිරීමට සිදුව ඇත්තේ ලබාගත් ණයවල පොලී ගෙවීම සඳහාය.

සමාජ සුභසාධනය සීමා වීම:


රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ණය සේවනයට වැයවීම නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ප්‍රජාවන් උදෙසා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමට හැකිව ඇත්තේ 1.9% ත් 2.4% ත් අතර ඉතා සුළු මුදලකි.

ජනතාවට අමතර පීඩනයක්:


සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හමුවේ බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් එල්ල විය හැකි බව වාර්තාව පෙන්වා දෙයි.

දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවල පවතින අභියෝග

පසුගිය වසර අවසානයේ සිට ශ්‍රී ලංකාව තුළ නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ආයතන ශක්තිමත් කිරීම, විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම් හරහා දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාව පිළිගනී. කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග රැසක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.