ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්...

ඉන්දුනීසියාවට එරෙහිව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්...

by Staff writer 03-09-2026 | 7:40 AM

COLOMBO (News 1st) - 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියා කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 75කින් ජය ගැනීමට සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124ක්.

නිලක්ෂිකා සිල්වා අර්ධ ශතකයක් රැස් කළාය.

ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 49ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක චමරි අතපත්තු පන්දුවාර 3යි පන්දු 3ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය.

චමරිගේ මෙම පන්දුයැවීම වාර්තා අතරට එක්වන්නේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙසයි.

චමරිගේ ක්‍රිකට් දිවියේ මෙතෙක් යොමු කළ හොඳම පන්දු යැවීම ලෙසද, එය වාර්තා අතරට එක්විය.

2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් සහ SIRASATV.LK වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.