2026-08-31 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

2026-08-31 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

by Staff writer 01-09-2026 | 3:43 PM

COLOMBO(News1st) - 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රසීල රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට අදාළව අනුපූරක ගැලපුම් ගිවිසුම අත්සන් තැබීම

- අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අංශවල ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2008-09-16 වන දින බ්‍රසීලය සමඟ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ. එම තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය, සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ උක් පර්යේෂණ ආයතනය අතර අත්සන් තැබීම සඳහා 2026-05-25 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අත්සන් තැබුණු තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ මූලික ගිවිසුම අනුව ඒ යටතේ වන වැඩසටහන් සහ ව්‍යාපෘති, අනුපූරක ගැලපුම් ගිවිසුම් හරහා ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ. ඒ අනුව, 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අනුපූරක ගැලපුම් ගිවිසුම (Complementary Adjustment Agreement) බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳ ගිවිසුම

- සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීම සම්බන්ධව කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එකී අනුමැතිය අනුව අදාළ ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට හැකි වී නොමැත. එකී ගිවිසුම මඟින්, අධිකරණමය ලේඛන භාර දීම සහ අපරාධ නඩු කටයුතුවලදී භාවිතය සඳහා සාක්ෂි රැස් කිරීම ආදිය වෙනුවෙන් රාජ්‍යයන් විසින් වෙනත් රාජ්‍යයන් වෙත අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබා දීමට අවකාශ සැලසේ. ඒ අනුව, කොරියානු ජනරජයේ රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීම

- ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා එකී දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ ඇත. දෙරට අතර ආයතන ප්‍රධානීන් හා නිල නියෝජිතයින් මට්ටමින් සිදු කරන සාකච්ඡා හා සංචාර සඳහා පහසුකම් සැලසීම, වැදගත් නිල තොරතුරු හා බුද්ධි තොරතුරු හුවමාරුව, සක්‍රිය හා සාධනීය ප්‍රවේශයක් ඔස්සේ දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍රවල නියැලෙන පුරවැසියන් විෂයයෙහි බලපාන්නා වූ වීසා, ආගමන හා විගමන කටයුතු ආදිය පිළිබඳව පහසුකම් සැපයීම, සංවිධානාත්මක අපරාධ වශයෙන් සැලකෙන තැනැත්තන් වෙළඳාම හා ජාවාරම් කිරීම සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවරයන් ගැනීම සහ නිලධාරින්ගේ දැනුම, කුසලතා හා ධාරිතා සංවර්ධනය සඳහා වැඩමුළු සංවිධාන කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් අපේක්ෂා කරනු ලබයි. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ නීතිපතිගේ නිෂ්කාශන ලබාගෙන තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී


බිම්ස්ටෙක් තාක්ෂණික පැවරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම

- 2008 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම සංවිධානයේ (BIMSTEC) දෙවන රාජ්‍ය නායක සමුළුවේදී කලාපීය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් BIMSTEC තාක්ෂණික පැවරුම් පහසුකමක් සත්කාරක රට සමඟ ඇති කරගනු ලබන ගිවිසුමක් මඟින් (Host Country Agreement) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා වන සහයෝගිතා ගිවිසුම 2022-03-30 දින කොළඹදී පැවති පස්වන BIMSTEC සමුළුවේදී අදාළ සාමාජික රටවල් විසින් අත්සන් කරනු ලැබ තිබේ. BIMSTEC සාමාජික රටවල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා තාක්ෂණය ලබා දීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය මෙම තාක්ෂණික පැවරුම් පහසුකමෙහි ප්‍රධාන අරමුණ වේ. අදාළ සහයෝගිතා ගිවිසුම අනුව තාක්ෂණික පැවරුම් පහසුකමෙහි නෛතික තත්ත්වය, වරප්‍රසාද සහ මුක්තීන් විධිමත් කිරීම සඳහා සත්කාරක රට වන ශ්‍රී ලංකාව සහ BIMSTEC මහලේකම් කාර්යාලය අතර ගිවිසුමකට එළඹිය යුතු වේ. ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති ගිවිසුමට අදාළ ආයතනික අනුමැතින් සහ නීතිමය නිෂ්කාශනයන් ලබා ගෙන ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බිම්වෙඩි ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම

- උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය පැවති අවධියේදී, එම ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්වෙඩි ඉවත් කර එම ප්‍රදේශවල ජීවත් වූ පවුල්වල ජන ජීවිතය යථා පරිදි ස්ථාපනය කිරීම පිණිස එම පවුල් නැවත පදිංචි කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහනේ මූලික පරමාර්ථ වේ. ඒ අනුව, 2002 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් බිම්වෙඩි ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහනේ කටයුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය විසින් ආරම්භ කරනු ලැබ ඇත. එම වැඩසටහන යටතේ 2026-01-01 දින වන විට තවදුරටත් වර්ගකිලෝමීටර 21.3ක ප්‍රමාණයක බිම්වෙඩි ඉවත් කිරීමට ඉතිරිව පවතී. මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව බිම්වෙඩි ඉවත් කිරීමේ කාර්යයේ නිරත දේශීය හා විදේශීය ආයතන ලෙස, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The Halo Trust ද දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project යන ආයතන කටයුතු කරනු ලබයි. බිම්වෙඩි ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේදී බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතන සමඟ බිම්වෙඩි ඉවත්කිරීමේ ජාතික මධ්‍යස්ථානය වාර්ෂිකව අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ලබයි. ඒ අනුව, 2026-01-01 දින සිට 2026-12-31 දින දක්වා කාලයට අදාළව ඉහත සඳහන් ආයතන සමඟ අදාළ කාර්යය සඳහා අවබෝධතා ගිවිසුම් 04කට අත්සන් තැබීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම


- 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා (ලොජිස්ටික්ස්), යටිතල පහසුකම් දෙමුහුන්/සංයුක්ත ව්‍යාපාර ආකෘති හා පොදු ව්‍යාපාර සහ ව්‍යාපාරික අංශයන්ට අයත් ව්‍යාපාර ආයතන 68ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම ව්‍යාපාර 68 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් 2026-04-10 දිනැති අති විශෙෂ ගැසට් නිවේදන මඟින් නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හෝමාගම, පිටිපන, මාහේනවත්ත 'තාක්ෂණික නගර ව්‍යාපෘතිය' සඳහා වන මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම

- නවෝත්පාදනය හා දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණය මත පදනම්ව රටේ ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීමේ අරමුණින් හෝමාගම, පිටිපන, මාහේනවත්ත 'තාක්ෂණික නගර ව්‍යාපෘතිය' ආරම්භ කරනු ලැබ තිබේ. හෝමාගම නගරයේ මාර්ග තදබදය වළක්වාලමින් තාක්ෂණ නගරය සඳහා ඍජු ප්‍රවේශය ලබා දීමේ අරමුණින් හෝමාගම, වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගය ඉදි කිරීම 2020 වර්ෂයේදී ආරම්භ කර ඇත. එම මාර්ගය හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීම පිණිස මීටර් 50ක් පමණ වන මාර්ග කොටස ඉදිකිරීමට ඉතිරිව තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා හරිත සරසවියේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ ප්‍රවේශ මාර්ගය මඟින් පිටිපන, දාම්පේ මාර්ගය තාක්ෂණ නගරයේ අභ්‍යන්තරය හරහා කොට්ටාව‑තලගල මාර්ගය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත. එම මාර්ගයේ මීටර 650ක පමණ කොටසක් තවදුරටත් ඉදිකිරීමට ඉතිරිව තිබේ. ඒ අනුව, බටහිර අතුරු මාර්ගය (හෝමාගම, වලව්වත්ත සිට කටුවාන දක්වා වූ) හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීමේ මාර්ග කොටස සහ ශ්‍රී ලංකා හරිත සරසවියේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ මාර්ගයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම

- 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත, බෝ වන රෝග පැතිරීම වැළැක්වීම සහ නිරෝධායන පියවර ක්‍රියාත්මක කිරීම පාලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නීතිය වේ. එහෙත්, වර්තමානය වන විට පුද්ගලයන්ගේ, භාණ්ඩවල හා සේවාවල ජාත්‍යන්තර සහ දේශීය සංචලනයේ සැලකිය යුතු වැඩි වීම හේතුවෙන් දේශසීමා හරහා බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවත්, නිතර සිදුවන ජාත්‍යන්තර සංචාර සහ ජාත්‍යන්තර වෙළෙඳාම හේතුවෙන් බෝවන රෝග රටවල් අතර වේගයෙන් පැතිරී යාම සිදු වන බවත් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති නමුත්, එකී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත. එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, පසුගිය කාලසීමාව තුළ ඇති වූ වසංගත තත්ත්වයන් අතරතුර ලබා ගත් අත්දැකීම් ද සැලකිල්ලට ගෙන, මේ වන විට සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කරමින් වර්තමාන සෞඛ්‍ය අභියෝගවලට මෙන්ම අනාගතයේ ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස සමාලෝචන කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.


1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම

- නැවත නැවත අපරාධ සිදු කරන වැරදිකරුවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන යාවත්කාලීන කරමින් 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, ප්‍රජා පාදක විශෝධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම

- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ඇතුළුව හෙද විදුහල් 17ක් පවතී. එම විදුහල්වල 2026-03-31 දිනට I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පුරප්පාඩු සංඛ්‍යාව 142ක් වන අතර නිලධාරින් 24 දෙනෙක් 2025-12-31 දිනට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පවතින පුරප්පාඩු මත විශේෂ ශ්‍රේණියට උසස්වීමට නියමිත බැවින්, මුළු පුරප්පාඩු සංඛ්‍යාව 166ක් බවට පත් වීමට නියමිතව ඇත. එමෙන්ම, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පුරප්පාඩු 24ක් ද පවතී. මේ වන විට හෙද විදුහල් හෙද පීඨ බවට පත්කර හෙද ඩිප්ලෝමා පාඨමාලාව හෙද උපාධි පාඨමාලාවක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින නමුත්, I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුර සඳහා පත් කිරීමට අදාළ පුහුණුව සඳහා බඳවා ගැනීම් මෙතෙක් සිදු කර නොමැත. ඒ අනුව, දැනට පවතින පුරප්පාඩු විධිමත් පරිදි සම්පූර්ණ කරනු ලබන තෙක් රජයේ හෙද විදුහල්වල සේවය කරන ලද විශ්‍රාමික හෙද ආචාර්යවරුන් සහ ත්‍රිවිධ හමුදාවන්ට අයත් හෙද විදුහල්වල සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබූ හෝ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්ව ඇති හෙද ආචාර්යවරුන් I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විදාතා වැඩසටහන ප්‍රතිසංවිධාන කිරීම

- විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ මඟින් බිහි වූ නවෝත්පාදන, ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ප්‍රවේශ කරවීම මඟින් ජාතික විද්‍යාත්මක ධාරිතාව සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය අතර පවතින පරතරය අවම කිරීම සඳහා විදාතා වැඩසටහන 2005 වසරේදී ආරම්භ කරනු ලැබ තිබේ. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 315ක විදාතා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ඇත. වත්මන් විදාතා මෙහෙයුම් ආකෘතිය, ව්‍යුහාත්මක ලෙස නම්‍යශීලී නොවන මට්ටමක පවතින බැවින් සහ යාවත්කාලීන නොවුණු කුසලතා සහ සම්මත වැඩසටහන් මත පදනම් වී තිබෙන බැවින්, සීග්‍රයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අවදානම් සහගත තත්ත්ව සහ නූතන තාක්ෂණික දියුණුව සමඟ අනුගත වීමට අපොහොසත් වී තිබේ. එබැවින්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315ම ආවරණය වන පරිදි 2026‑2030 උපායමාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-11-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ යටතේ, විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය, සේවා සහ ආධාරක හා බුද්ධිමය දේපළ ඒකකය සහ තත්ත්ව හා ප්‍රමිති ඒකකය ලෙස එකිනෙකට සම්බන්ධිත විශේෂිත ඒකක තුනක් යටතේ සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.

නේපාල රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දීම


- 2026-08-26 දින, උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී මහා පරිමාණයේ දේපළ හානි සිදුව ඇත. මෙම ආපදා තත්ත්වයේ බරපතල ස්වභාවය හේතුවෙන් නේපාල රජය සහ ජනතාව මත සැලකිය යුතු මානුෂීය බරක් පැටවී ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම, තවදුරටත් ගංවතුර‌ ඇති වීමේ අවදානම සහ යටිතල පහසුකම්වලට විශාල ලෙස හානි සිදු වී තිබීම යන හේතූන් නිසා සහන හා ප්‍රතිසාධන සහාය කඩිනමින් ලබා දිය යුතුව තිබේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික, ආගමික සහ අන්‍යෝන්‍ය ජන සබඳතා මත පදනම් වූ දිගුකාලීන මිත්‍ර සබඳතා සහ බරපතල ස්වභාවික ආපදාවකින් සිදුවන විනාශකාරී මානුෂීය හා ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍යභට බලකායන් අතර දැනටමත් ක්‍රියාත්මක වන තරුණ හුවමාරු වැඩසටහන්, දෙරටෙහි මිත්‍ර සබඳතා පුළුල් කිරීමට දායකත්වය ලබා දෙනු ලබන අතර, එකී සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා එම ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා කරනු ලැබ ඇත. එම ගිවිසුම මඟින් ඒකාබද්ධ විශේෂිත පුහුණු සහ නායකත්ව වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සඳහා දෙරටේ ශිෂ්‍යභට බලකා සාමාජිකයින් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.