.webp)
sdasdasd-504230-544037-564716-622593.jpg)
ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාගේ උපත සිදුවූයේ ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනකයි.
සියලු මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.
මුහම්මද් නබි නායකතුමන් ක්‍රිස්තු වර්ෂ 570 දී සෞදි අරාබියේ මක්කම නගරයේදී උපත ලැබූ අතර එතුමන් අභාවප්‍රාප්ත වූයේ ක්‍රිස්තු වර්ෂ 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදීයි.
මුහම්මද් නබි නායකතුමා මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මගින් ලොවට දායාද කළේ ය.
ජාතික මිලාද්-උන්-නබි උත්සවය මෙවර මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී අද පස්වරුවේ පැවැත්වේ.
මේ අතර නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
නබි නායක ජන්ම දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මනුෂ්‍යයාගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය මෙන්ම සමාජයේ ආචාරධාර්මිකභාවය කිළිටි කරන සියලු විෂයන් ඉස්ලාම් දහම විසින් බැහැර කරන බවයි.
එබැවින්, මාතෘභූමිය මත පිළිලයක්ව වැඩෙන විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රජය ආරම්භ කළ ජාතික මෙහෙයුම වැනි සමාජයීය ආචාරධාර්මිකභාවය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළවලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සැපයෙන්නේ මහඟු සවියක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
