යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයි...

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයි...

by Staff writer 20-08-2026 | 11:59 AM

COLOMBO (News 1st) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට මහාධිකරණය හමුවේ අද (20) අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.

අධිචෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

2006 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා සහ 2007 වසරේ ජූනි මස 08 වැනිදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ.

එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ  අධිචෝදනා පත්‍ර ගොනු කෙරුණේ පසුගිය ජූලි 31 වැනිදායි.

විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ අධිචෝදනා 8ක් යටතේයි.