පිල්ලෙයාන් ඇතුලු 4 දෙනෙකුට අධිචෝදනා.

නැගෙනහිර හිටපු උපකුලපති පැහැරගෙන, ඝාතන කළැයි පිල්ලෙයාන් ඇතුලු 4 දෙනෙකුට අධිචෝදනා.

by Staff writer 17-08-2026 | 10:45 PM

COLOMBO(News1st) - නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ , නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැර ගෙනගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි.

එලෙස අධිචෝදනා ගොනුකළ අනෙක් පුද්ගලයින් වන්නේ කදිර්ගතම්බි ජෙයකිෂන් නොහොත් ජෙයන්දන්, නිමල් දෙව්සුකන් නොහොත් ජෙයකන්දන් සහ නඩරාසා නගුලේන්ද්‍රන් නොහොත් සිඹු ‍හෙවත් නගුලන්.

මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ලෙස 2004 වසරේ දි පත්වූ අතර , 2005දී එම විශ්වවිද්‍යාලයේ නිත්‍ය උපකුලපති ලෙස පත් කළේය.

මහාචාර්යවරයා 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයකදී අතුරුදන් වුණි.

පසුව ඔහු නැවත නිවසට නොපැමිණි බවට පවුලේ සාමාජිකයින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

පසුව හෙළි වුණේ මහාචාර්යවරයා පැහැරගෙන ගොස්  වධහිංසාකර ඝාතනය කර ඇති බවයි.

එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේම විමර්ශනයක් ආරම්භ කළ අතර සිද්ධීය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කෙරෙන්නේ සිදුවීමෙන් අවුරුදු 20කට පසුවයි.