යෝෂිතගෙන් CIDය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනී.

යෝෂිතගෙන් CIDය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනී.

by Staff writer 12-08-2026 | 8:39 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන්කර ගත්තේය.

මෙම ප්‍රකාශ සටහන් කිරීම සිදු වූයේ නීති විරෝධී ලෙස එකලස් කර වාහන අලෙවි කළ ජාවාරමක් පිළිබඳ විමර්ශනයකට අදාළවයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය යටතේ මෙම විමර්ශනය සිදුවන්නේ රේගු දෙපාර්තමේන්තුවේද සහය ඇතිවයි.

2020/21 කාලසීමාවේ මෙරටට ගෙන්වූ බව කියන සුභෝපභෝගී ජීප් රථයක් ව්‍යාජ චැසි අංක යොදා සකස්කර ඇතැයි විමර්ශනයකදී හෙළි වී තිබේ.

එය රස පරීක්ෂකවරයාට යොමුකිරීමෙන් පසුව අනාවරණය වී තිබුණේ එය නීති විරෝධී ලෙස එකලස් කළ එකක් බවයි.

අනතුරුව සිදු කළ විමර්ශනයේදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර අදාළ ජීප් රථය මෙරටට ගෙන් වූ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශවලින් යෝෂිත රාජපක්ෂගේ සම්බන්ධයක්ද අනාවරණය වී ඇති අතර අද ඔහු කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණේ ඒ අනුවයි.

පැය දෙකක පමණ කාලයකින් පසුව යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.