මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන්වූ හානිය මිලියන 100 පනී

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි...

by Staff writer 10-08-2026 | 9:48 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.

පසුගිය මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමෙන් දේපල රැසකට මෙන්ම රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛණ රැසකටද හානි සිදුවිය.

එහිදී තිස් දෙදෙනෙකු මියගොස් තුවාල ලැබූ පිරිස 100 කට අධිකයි.

රැඳවියන් 2,400 ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ, රැඳවියන් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පමණයි.

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ගේ අධිකරණ කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකරන බවත් ඇතැම් රැඳවියන් භෞතිකවම අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකරගත් රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කළ විමර්ශනයේ වාර්තාව අද (10) දිනයේ ලැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.

පසුගිය 6 වැනිදා රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරයේද 7 වැනිදා කුරුවිට බන්ධනාගාරයේ හා පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේද ඇතිවූ නොසන්සුන්තාවෙන් මියගිය රැදවියන් සංඛ්‍යාව 3ක්.

තුවාල ලැබු සංඛ්‍යාව 77කට ආසන්නයි.

කුරුවිට බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවෙන් මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින පැවැතිවීමට නියමිත වේ.