මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ...

මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ....

by Staff writer 07-08-2026 | 8:15 AM

COLOMBO (News 1st) - කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කළ බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හේමන්ත ප්‍රසාද් පවසයි.

ඔහු සඳහන් කළේ, බන්ධනාගාරය තුළට විසි කළ මත් කුඩු පාර්සලයක් ලබා ගැනීම සඳහා වාට්ටුවක රඳවා සිටි පිරිසක් පිටතට පැමිණිමත් සමග එම නොසන්සුන්  තත්ත්වය හටගත් බවයි.

අනතුරුව බන්ධනාගර නිලධාරින් ඔවුන් පාලනය සඳහා අවශ්‍ය පියවර ගත් බවද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ අතර තුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ එක් ගොඩනැගිල්ලක දේපලවලට හානි කර තිබේ.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනාරාල්වරයා ප්‍රකාශ කළේ, ඔවුන් විසින් එහි තිබී පරිගණක හා උපකරණ රැසක් විනාශ කළ බවයි.

එහිදි තුවාල ලැබූ රැඳවියන් 6ක් මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

නොසන්සුන් තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති අතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හේමන්ත ප්‍රසාද් සඳහන් කළේ ය.