සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය කළ පිරිසට අධිකරණ අපහාස චෝදනා...

by Staff writer 05-08-2026 | 7:23 PM

COLOMBO (News 1st) - විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අභියාචනාධිකරණයට කරුණු වාර්තාකරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේ ය.

ඒ පාස්කු ප්‍රහාරයට සැකපිට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සහ 15 අතර පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවළිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමේ චෝදනාවට අදාළවයි.

මේ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළේ ය.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ, මෙම පුද්ගලයින්ගේ ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවළිය විවේචනය කර ඇතැයි බැලූ බැල්මට පෙනී යන බවයි.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පුද්ගලයින්ට එරෙහිව අභියාචනාධිකරණයේ චෝදනා ගොනු කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කළේ ය.