.webp)

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර සඳහන් කළේ, පේරාදෙණිය සහ නාවලපිටිය අතර මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමුව ඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් ද ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව, ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, කැළණි ගඟ සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම, ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කළ බවයි.
ලක්ෂපාන සහ කුකුළේ ගඟ ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොත්මලේ ජලාශයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.
අද(03) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය, කැනියොන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එම අගය, මිලිමීටර් 191ක්.
ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187 ක සහ නොර්ටන් ප්‍රදේශයට මිලිමීටර් 186 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කාසල්රී ප්‍රදේශයෙන් වාර්තාවන වර්ෂාපතනය, මිලිමීටර 159 ක්.
ඉහළ කොත්මලේ ප්‍රදේශයෙන් මිලිමීටර 133.2 ක වර්ෂාපතනයක් සහ කොත්මලේ ප්‍රදේශයෙන් මිලිමීටර 132.2 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද, එලෙසම පැවතිය හැකි බව, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනූව සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළං වේගය පැයට කිලෝමීටර 40 - 50 ත් දක්වා ඉහළ යා හැකි බව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මුහුදු ප්‍රදේශ සඳහා ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(03) උදෑසන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.
මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර් 60 - 70ත් දක්වා වැඩිවීම හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද, පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා වැඩි විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
