දෙහිවල වෙඩි තැබීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට...

දෙහිවල වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට...

by Staff writer 03-08-2026 | 11:20 AM

COLOMBO (News 1st) - දෙහිවල සුසාන භූමිය තුළදී වෙඩි තබා පුද්ගල ඝාතනයකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

එම සිද්ධියේ වෙඩික්කරුද මිහින්තලය ප්‍රදේශයේදී  ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ 47 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු භාවිත කළ ජංගම දුරකථන 02 ක්, ගමන් බෑගයක්, වෙඩි තැබීම වෙනුවෙන් ලබාදී තිබූ බවට සැකකරන රුපියල් දෙලක්ෂ අසූ දහසක් සහ ATM කාඩ්පත් 02 ක් ද සිය භාරයට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ මෙම  සිද්ධියේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරුද පසුගිය 26 වැනිදා දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.

පසුගිය මස 19 වැනිදා දෙහිවල සුසාන භූමිය තුළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය, විමර්ශන ආරම්භ කර තිබිණි.